දිනසේන රතුගමගේ –
යාපනයේ ඩෙල්ෆ්ට් මුහුදු සීමාවේදී නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 22 දෙනෙකුගෙන් එක් අයෙකුට වසර දෙකක සිර දඩුවමක් ලබා දීමට ඌර්කාවතුරේ මහෙස්ත්‍රාත් ජේ. ගජනිතිබාලන් විසින් ඊයේ (15) නියෝග කළේය.
ඉතිරි ධීවරයින් 21 ක් සඳහා වසර එකහමාරක සිරදඬුවමක් නියම කළ අතර එය වසර පහක අත් හිටවූ හිර දඩුවමක් වශයෙන් ප්‍රකාශයට පත් කරණු ලැබීය.
එක් ඉන්දීය ධීවරයෙකුට වසර දෙකක සිර දඩුවමක් නියම කරණු ලැබුවේ ඔහුට මීට පෙර යාපනය කයිට්ස් අධිකරණයෙන් වසර පහක අත් හිට වූ හිර දඩුවමක් නියමව තිබියදී යළිත් වරක් උතුරු මුහුද ආක්‍රමණය කරමින් බලහත්කාරයෙන් යාපනයට පැමිණ මසුන් මරණ ලද බවට ධීවර පරීක්ෂක නිලධාරීන් විසින් ගොණු කරණ ලද චෝදනාව සලකා බැලීමෙන් අනතුරුව මෙම සිරදඬුවම අධිකරණයෙන් නියම විය.
එම ඉන්දීය ධීවරයා 2022 මාර්තු මස 23 වෙනිදා නාවික හමුදා අත් අඩංගුවට පත් වීමෙන් පසුව ඔහුට එරෙහිව චෝදනා තුනක් ගොණු කළ ධීවර පරීක්ෂක නිලධාරීන් ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුට වසර එකහමාරක අත් හිටවූ හිර දඩුවමක් වසර පහකින් ගෙවි යන ලෙස නියම කොට තිබුණි.
එම වසර පහක කාලය ඉකුත්ව යාමට පෙර යළි එම වරදම සිදු කළ නිසා ඔහුට වසර දෙකක සිර දඩුවමක් නියම කරණු ලැබීය.
අත් හිටවූ හිර දඩුවමක් මත නිදහස ලැබූ ධීවරයින් 21 විසි දෙදෙනා යාපනයේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහය මත ආපසු ඉන්දියාවට යැවීමට පියවර ගන්නා ලෙස ධීවර පරීක්ෂක නිලධාරීන්ට දැණුම් දුන් විනිසුරුවරයා ඉන්දීය ධීවරයින් පැමිණි යාත්‍රා තුන නාවික හමුදා බාරයේ තබා ගන්නා ලෙසත් ධීවර පනතට අනුව එම යාත්‍රා තුන රාජ සන්තක කෙරෙන බවත් ප්‍රකාශ කළේය.
මෙම ධීවරයින් පිරිස නාවික හමුදාව විසින් 2023-11-15 වෙනි දින අත් අඩංගුවට ගෙන ධීවර පරීක්ෂක නිලධාරීන්ට බාර දීමෙන් පසුව අධිකරණ නියෝගයක් මත ඔවුන්ව මෙතෙක් කාලයක් බන්ධනාගාර ගත කොට සිටියහ.







