හැටන් රංජිත් රාජපක්ෂ –
කාන්තාවන් සිහිනැති කර එම කාන්තාවන් පැළද සිටින ස්වර්ණාභරණ සොරාගන්නා සංවිධානාත්මක සොර කල්ලියක් ඊයේ (19) දින අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසියේ අපරාධ විමර්ශන නිලධාරීහු සමත් වූහ.
දිවයින පුරා සංවිධානාත්මකව රන් භාණ්ඩ කොල්ල කමින් සිටි, පොලිස් ස්ථාන ගණනාවකට අවශ්‍යවූ සැක කරුවන් පිරිස හැටන් පොලිස් අත් අඩංගුවට පත් වන්නේ මෙසේය.

ඉකුත් (12) දින හැටන් නගරයේ උත්සව ශාලාවක පැවති උත්සවයකට පැමිණි කාන්තාවක් එතැන සිටි තවත් කාන්තාවක් සමග මිතුදමක් ඇති කරගෙන තිබිණි.
දෙදෙනාම එම උත්සවයට පැමිණි අය ය. දැන හැඳුනුම්කම් ඇති කරගත් කාන්තාව සිය අලුත් මිතුරිය උත්සව අවසානයේ දී තමන් පැමිණි ත්‍රී රෝද රථයෙන්ම ඇයගේ නිවසට ඇරලවන්නට ඉදිරිපත් වූවාය.
අනතුරුව ඇයව තවත් තරුණයන් දෙදෙනෙකු සමග ත්‍රිරෝද රථයේ නන්වාගෙන යන්නට පිටත් වී ඇත.
ගමන් කරමින් සිටිය දී හැටන් දික්ඔය ප්‍රදේශයේදි එම කාන්තාව සිය අලුත් මිතුරියට යම් රසායන ද්‍රව්‍යයක් දැමූ ජලය බිමට ලබා දී සිහි නැති කර ඇත.

අනතුරුව ඇයගේ ගෙල බැඳි පවුම් 2 ½ ක් පමණ වූ රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනා රන් මාලය කොල්ලකා ඇයව දික්ඔය සාංචිමලේ මාර්ගයේ පිහිටි බස් නැවතුම්පොලක අත්හැර කොල්ලකාර කාන්තාව පලාගොස් තිබිණි.
එම මාර්ගයේ ගමන් ගත් පිරිසක් විසින් සිහිසුන් වි සිටි කාන්තාව දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කෙරිනි.
කාන්තාවට සිහිය පැමිණිමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
පැමිණිල්ල අනුව හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් සිසිටිවි දර්ශන ඔස්සේ විමර්ශනයක් ආරම්භ කර ත්‍රිරෝද රථය ප්‍රථමයෙන් අත්අඩංගුවට ගෙන තිබිණි.
අනතුරුව සොරකමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරිනියක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව සැකකරුවන් සන්තකයේ තිබි සොරකම් කරන ලද පවුම් 2 ½ රන් මාලය සහ රු 60000/= මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හැටන් සහ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. සැකකාරිනිය වටවල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
එම සැකකරුවන් අවු 27-45 වයස් කාණ්ඩ වල පසුවන මෙවැනි සොරකම් ගණනාවකට පොලිස් ස්ථාන කිහිපයකටම අවශ්‍යව සිටි පිරිසක් බව හැටන් පොලිසිය විසින් කරන ලද මුලික විමර්ශන වලදි අනාවරණය වි ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්, මෙම සොරකමට සම්බන්ධයෙන් අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට නියමිත බවත් හැටන් පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන කියා සිටියේ.
හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම සහ හැටන් මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන ගේ උපදෙස් මත හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති උපොප රංජන් ගේ අධික්ෂණය යටතේ පොකො වරුන් වන විතානගේ (31110) , යසරත්න (28658) , සෂිකුමාර් (8638) , ඉලේරාජ් (81798) , සුපුන් (100675) , ලෝගෙෂ්වරන් (10366) යන නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.







