ශ්‍රියානි විජේසිංහ
-
විකිරණ විද්‍යා උපාධිය සම්පූර්ණ කළ නව උපාධිධාරීන් 200 බඳවා ගන්නැයි අමාත්‍යාංශයට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයෙන් ඉල්ලීමක්
ඉදිරි මාස කීපය තුළ රජයේ රෝහල්වල CT, MRI, PET ස්කෑන් පරික්ෂණයන් නතර වීමේ අවදානමක් මතුව ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.
රටතුළ සිටිය යුතු අනුමත විකිරණ තාක්ෂණවේදී නිලධාරීන්ගෙන් සියයට 40ක ප්‍රතිශතයක් මේ වන විටත් අඩුව පවතින බව සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කරයි.
මෙතරම් හිගයක් පවතිද්දී මාසයකට නිලධාරින් 3 – 4 විදේශගතවන බැවින් මෙම තත්වය තවත් බරපතල තත්වයකට ඇද දැමීමට හේතුවක් වී ඇතැයි හෙතෙම පෙන්වාදේ.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරින්ව දිගින් දිගටම දැනුවත් කලද නවක නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කර නොමැති අතර ඔවුන් පවසනුයේ රජයේ බඳවා ගැනීම් මේ වන විට නතර කර ඇති බව යැයි සභාපතිවරයා පැවසුවේය.
මේ තත්වය දිගින් දිගටම පැවතුණහොත් රෝහල්වල විකිරණ පරික්ෂණයන් සේවාවන් බිඳවැටීම වැලැක්විය නොහැකි යැයිද පැවසේ.
මේ වන විට ඇහැළියගොඩ රෝහලේ සිටි එකම විකිරණ තාක්ෂණ නලධාරිණිය විදේශ ගතවීම හේතුවෙන් රෝලේ විකිරණ පරික්ෂණ මුළුමනින්ම ඇනහිට ඇතැයි සභාපතිවරයා පැවසුවේය.
ඉදිරියේදී කොළඹ ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල, අනුරාධපුර, බදුල්ල්, මොණරගල, නුවරඑළිය, රත්නපුරය යාපනය, කුරුණෑල , රිජ්වේ ආර්යා ළමා රෝහල, සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, පුත්තලම, පොළොන්නරුව, රෝහල්වලද මෙවැනි තත්ත්වයන් නිර්මාණය වීමට ඉඩ ඇති බව සංගමය අනතුරු අඟවයි.
දැනටමත් විකිරණ තාක්ෂණ ශිල්පින් ගණනාවක් රට හැර ගොස් ඇතැයි සංගමය හෙළි කරයි.
විකිරණ පරික්ෂණ නතර වුවහොත් රෝග හදුනා ගැනීමේ පරික්ෂණ, සැත්කම් හා ප්‍රතිකාර සේවාවන් දැඩිලෙස ප්‍රමාද වනු ඇතැයි සංගමය අවධාරණය කරයි.
මේ වන විට විකිරණ විද්‍යා උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරින් 200ට ආසන්න පිරිසක් සිටින බැවින් ඔවුන් වහාම බඳවා ගැනීමට කටයුතු කරන්නැයිද සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක් කරයි.







