දියසේන රතුගමගේ –
19 හැවිරිදි තරුණියක හා ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ 55 හැවිරිදි පුද්ගලයෙකුට චුන්නාකම් උඩුවිල් ප්‍රදේශයේ දී ගස් බැඳ පහර දී ඝාතනයකර තිබේ.
මොවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාවයට දෙපාර්ශවයේම ඥාතීන් විරුද්ධ වී ඇති බවත්, ඒ නිසා එක වහලක් යට ජීවත් වීම සඳහා ප්‍රදේශයෙන් පලා ගිය යුවල ගෙන්වා මෙසේ ගස් බැඳ පහර දී පුද්ගලයා ඝාතනය කර තරුණියට තුවාල සිදුකර ඇති බවත් විමර්ශන අංශ කියයි.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
ඊයේ දහවල් කාලයේ චුන්නාකම් පොලිස් වසමේ උඩුවිල් ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට ගස් බැඳ පහර දෙන බවට චුන්නාකම් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් බඳ පහර දෙමින් සිටි පුද්ගලයාව දිනහස් කරගෙන වහාම තෙලිප්පලෙයි රෝහලට ඇතුලත් කර ඇත. ප්‍රතිකාර ලබමින් සිටිය දී පුද්ගලයා මියගොස් තිබේ.
මියගොස් තිබුණේ 55 හැවිරිදි චුන්නාකම් ආරමුගන් වීදියේ පදිංචි මරියදාස් ජෙගදාස් නැමැති අයෙකි.
විමර්ශන කටයුතු කරගෙන ගිය පොලිිසයට අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවය. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධයට පවුල්වල ඥාතීන් හරස් වීම නිසා ඔවුන් එක්ව ජීවත් වීම සඳහා ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ.
අනතුරුව එම ඥාතීන් එක වහලක් යට විවාහ වී එකට ජීවත් වීමට අවකාශ සලසා දෙන බවට පොරොන්දු කරගෙන එම යුවල ගෙන්වා මෙම 55 හැවිරිදි පුද්ගලයාට ගස් බැඳ පහර දී ඇත.
මෙම පුද්ගලයින් මිය ගිය තැනැත්තා හා පෙමින් සිටි 19 හැවිරිදි තරුණියට ද පහර දීම නිසා ඇය ද තෙලිප්පලේ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම පහරදීම සම්බන්ධයෙන් පොලිසිය වයස අවුරුදු 23, 24, 38, 46 සහ 48 වයස්වල පසුවන එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 06 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත.
චුන්නාකම් පොලිසිය වැඩිදු පරීක්ෂණ පවත්වයි.