දිනසේන රතුගමගේ
ද්විත්ව ඝාතනයක් සිදුකර දරුවන් 05 දෙනෙක් ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ වවුනියාවේ තෝනිකල් ප්රදේශයේ උපන් දින සාද ප්රහාරයට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු වවුනියාව පොලිසිය විසින් ඊයේ (31) දා අත් අඩංගුවට ඇත.

මේ පිරිස ළඟ තිබී කඩු හා තවත් ආයුධ කීපයක් අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් පොලීසියට පවසා ඇත්තේ තවත් ආයුධ කීපයක් වැවක සඟවා ඇති බවයි.
වව්නියාව පොලිස් ස්ථානය හා වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර ඇති අතර, අපරාධයකට අනුබල දීම හා කුමන්ත්රණය කිරීම සම්බන්ධයෙන් එම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇති අතර ප්රහාරය සඳහා පැමිණි බව කියන යතුරුපැදි 3ක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාවේ මදවයිත්තකුලම්, පම්පේමඩු, ශිවපුරම් හා නෙලුකුලම් යන ප්රදේශ වලිනි.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 24, 27, 31 හා 34 යන වයස්වල පසුවන වව්නියාවේ පදිංචිකරුවන්ය.
පසුගිය ජූලි මස 23 වෙනිදා වවුනියාව තෝනිකල් ප්රදේශයේ උපන් දින සාදයක් පැවති සුරේෂ් නැමති අයගේ නිවසට කඩා වැදුණු මැරයින් පිරිසක් නිවසේ උදවිය කපා කොටා ඔවුන්ට තුවාල සිදු කොට නිවසට ගිණි තැබීම නිසා වයස අවුරුදු 21 ක තරුණියක් ඒ අවස්ථාවේදීම මියගියේය. ඇයගේ පෙම්වතා වවුනියාව මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී පසුව මිය ගියේය.
මේ සිද්ධියෙන් තවත් නව දෙනෙකු තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කළ අතර ඔවුන්ගෙන් පස් දෙනෙකුම ළමයින්ය.
අත් අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී තිබේ.







