ඉඳුනිල් කහටපිටිය. –
ඉදිරි මාස දෙකක කාලයක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පාලනය වන කිසිදු රෝහලක විදුලිය විසන්ධි නොකරන බවට විදුලි බල මණ්ඩලය සහතික වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක පවසයි.
අද (27) මහනුවර දී මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් අතිරේක ලේකම්වරයා පැවසුවේ සෞඛ්‍ය අමැතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සමඟ ඇති කරගත් එකඟතාවකට අනුව මෙම තීන්දුව ගෙන ඇති බවය.
එහි දී ඔහු ප්‍රකාශ කළේ කොළඹ ජාතික රෝහලේ හිඟ විදුලි බිල්පත ගෙවීම සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 120 ක් ලබා දුන් බවය.
ආර්ථික අර්බුදයත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් වල විදුලි බිල්පත් ගෙවීමේ දී මාස හතරක පහක පමණ හිඟයක් ඇතිව තිබෙන බව කී අතිරේක ලේකම්වරයා අදාළ හිඟ මුදල් ඉදිරි මාස දෙක ඇතුළත ගෙවීමට කටයුතු කරන බවට ලබා දුන් පොරොන්දුව ප්‍රකාරව මාස දෙකක අඛණඩ විදුලිය සැපයීම සඳහා විදුලිබල මණ්ඩලයේ සභාපති සහතිකයක් දුන් බව අතිරේක ලේකම්වරයා හෙළි කළේය.
හිඟ විදුලි බිල ගෙවා දැමූ පසු අඛණ්ඩාව මාසික විදුලි බිල සඳහා මුදල් නිදහස් කිරීමට භාණ්ඩාගාරය එකඟ වී ඇතැයි ද අතිරේක ලේකම් සමන් රත්නායක කීවේය.







