පාර්ලිමෙන්තුව නියෝජනය කරන ඕනෑම පක්ෂයක හෝ කණ්ඩායමක මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තු කමිටුවක සභාපතීත්ව හෝ සමාජාකත්වය දැරීමේ අයිතියක් ඇති බැවින්. රට බංකොලොත් වීමට අදාළ හේතු සෙවීම සඳහා පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් විරුද්ධත්වයක් ඇත්නම් විපක්ෂය එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හරහාම පෙන්වා දිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
අද නුවර දී පැවති පුවත්පත් සාකච්ඡාවක දී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙම කමිටුවේ ඇති නුසුදුසුකම අවම වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 112 දෙනෙකුගේ විරුද්ධත්වයෙන් තහවුරු කළ යුතු බවය.
රාජ්‍ය ඇමති සියඹලාපිටිය කීවේ පසුගිය කාලයේ දී චෝදනා කිරීමෙන් ඔබ්බට ගොස් විපක්ෂය රට වෙනුවෙන් ක්‍රියා කළ අවස්ථාවක් නොමැති බවය. විපක්ෂය පුළුල් ලෙස කල්පනා කළේ නම් අර්බුදයට පත් වී ඇති මේ රටේ අද තිබිය යුත්තේ ජාතික ආණ්ඩුවක් බව ඔහු පෙන්වා දුන්නේය.







