ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය අදය.
සෑම වසරකම ජූනි 26 වන දින, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ නීතිවිරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය (ලෝක මත්ද්‍රව්‍ය දිනය) ලෝකය විසින් සමරනු ලබන්නේ මත්ද්‍රව්‍ය දුර්භාවිතයේ ගැටළුව පිළිබඳව දැනුවත් කිරීම සහ එය වළක්වා ගැනීමට පියවර ගැනීම සඳහාය. 2023 මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ නීති විරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයේ තේමාව වන්නේ “පළමුව මිනිසුන්: සමාජ අවමානය සහ වෙනස්කොට සැලකීම වළකමු, නිවාරණය බලගන්වමු ” යන්නයි.
මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දුම්වැටි සහ මධ්‍යසාර හේතුවෙන් දිනකට මේ රටේ පුද්ගලයින් 100ක් පමණ අකල් මරණවලට ගොදුරු වෙමින් ඇති බවය.
ලංකාව තුළ ගංජා වගාව නීතිගත කිරීම සඳහා පසුගිය වසර කීපය තුළ ඉතාමත් සූක්ෂම අයුරුන් විවිධ බලවේග ක්‍රියාත්මක වෙමින් පවතින්නේ එවැනි වටපිටාවක් තුළ බව එම ආයතනය පෙන්වා දෙයි.
ගංජා අපනයනය සඳහා ඇති ශඛ්‍යතාවය සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර එහි නිර්දේශ මත ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ගංජා වගාවට අවසර දෙන බව රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම පැවසුවද මේ වනවිට ලෝකයේ විශාලම ගංජා සමාගම් බරපතල ලෙස අලාභ ලබමින් සිටින ආකාරය මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ( ADIC ) දත්ත සහිතව හෙලි කරයි.

ගංජා ප්‍රවර්ධනය බලාපොරොත්තුවන පාර්ශවයන් ශ්‍රී ලංකාවේ ආර්ථික දරිද්‍රතාවය සිය වාසියට හරවාගෙන ඇති බවත්, මේ වනවිට ගංජා සඳහා ලැබී ඇති අනවශ්‍ය ප්‍රචාරණය හේතුවෙන් වෙනත් මත්ද්‍රව්‍ය ද වක්‍රාකාරයෙන් ප්‍රචලිතවන බවත් ADIC පවසයි.
දුම්කොල සමාගම් මේ වනවිට ගංජා ව්‍යාපාරයක් ලෙස ලොව පුරා ක්‍රියාත්මක කිරීමට මුදල් යොදවා ඇති බවට හෙළි වී ඇතැයි පෙන්වා දෙන ADIC එයට අවහිරයක්ව පවතින නීතිමය රාමුව වෙනස් කිරීමේ කූට උපක්‍රම දියත් කර ඇති බව ද අනාවරණය කරයි.
ගංජා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය හරහා සිදුවනු ඇත්තේ රට තවත් දුක්ඛිත තත්ත්වයකට ඇදවැටීම බව ද මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය අවධාරණය කරයි.







