මනම්පිටිය නිමල් ජයරත්න
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූදා දිඹුලාගල මගුල්දමන මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් එම විද්‍යාලයේ දේපළවලට සිදුකළ අලාභහානිය ඔවුන්ගේ මවුපියන් විසින් පියවීමට විදුහල්පතිවරයා ඉදිරියේ පොරොන්දු කරවා ගත් බව මනම්පිටිය පොලිසිය කියයි,
මඟුල්දමන මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා මේ පිළිබඳ පොලිසියට සිදුකළ පැමිණිල්ලෙන් පසු විද්‍යාලයේ දේපළවලට හානිකෙරූ සිසුන් හයදෙනෙකු සහ ඔවුන්ගේ දෙමව්පියන් පොලිසියට කැඳවා අවවාද කිරීමෙන් පසු සිසුන්ගේ දෙමව්පියන් දරුවන් විනාශ කරන ලද පොදු දේපල දොළොස් වැනිදාට පෙර නැවත තිබූ පරිදිම සකස්කර දීමට පොරොන්දු වූ බවද මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර අප කළ විමසීමකදී සඳහන් කළේය
ඉකුත් 8 වෙනිදා සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව එම විද්‍යාලයේ සිසුන් හයදෙනෙකුගේ කණ්ඩායමක් විද්‍යාලයේ පන්ති කාමරවල තිබූ උපකරණ, විදුලි පංකා, මෙන්ම විද්‍යාලයේ වැසිකිලිවල දොරවල් කඩා දේපල රැසක් විනාශ කිරීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා මනම්පිටිය පොලිසියට පැමිණිලි කර තිබේ,
අනතුරුව අදාල සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් මනම්පිටිය පොලිසියට කැඳවා සිසුන් විසින් විනාශ කර දැමූ සියලු පොදු දේපල තිබූ පරිදිම සකස් කරවීමට මවුපියන්ට මනම්පිටිය පොලිසිය විසින් උපදෙස් ලබාදී තිබෙන අතර එසේ නොකළහොත් පොදු දේපල විනාශ කිරීම යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවද පොලිසිය දෙමව්පියන්ට දන්වා තිබේ,
ඒ අනුව තම දරුවන් විද්‍යාලයේ සම්පත්වලට සිදුකළ හානිය යථා තත්ත්වයට පත්කර සකස් කරදීමට මවුපියන් පොරොන්දු වී තිබෙන බවද මනම්පිටිය පොලිසිය පවසයි,
පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා ගේ සහ සහකාර පොලිස් අධිකාරී චානක ද සිල්වා ගේ උපදෙස් පරිදි මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදු කරයි,
එම විද්‍යාලයේ සිසුන් සහ ඔවුන්ගේ මවුපියන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් 13 වෙනිදා සිදුකිරීමට කටයුතු යොදා ඇති බව මනම්පිටිය පොලිසිය පවසයි.







