ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් ද ලබාගෙන මහනුර රදගුරු වැලන් මෙන්ඩිස් ද බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ.
ඊයේ හවස කොළඹ රණවිරු උත්සවය අවසන් වීමෙන් අනතුරු ප්‍රධාන මාර්ගය ඔස්සේ මහනුවරට පැමිණ මහනුවර ජනාධිපති මන්දිරයේ ගතකර අද උදෑසන මෙම හමුවීම් සිදුකර ඇත.
මල්වතු අස්ගිරි මහානායක හිමිවරු හමුවීමේ දී මහනුවරට බෞද්ධ විශ්වවිද්‍යාලයක් අත්‍යාවශ්‍ය බවත් මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපන් රජයේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.
ථෙරවාදී බුදුදහම පිළිබද හැදෑරිය හැකි ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක් ලෙස එය ස්ථාපිත කරන බව පැවසූ ජනාධිපතිවරයා ඉදිරියේදී සිදුකරන තම ජපන් සංචාරයේදී මේ සඳහා ආධාර ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බව ද සඳහන් කළේය.
මේ සඳහා තායිලන්තය, භූතානය වැනි බෞද්ධ රටවල දායකත්වය ලබා ගැනීම ද අපේක්ෂාව බව ජනාධිපතිවරයා කියා සිටියේය.
බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීම සහ ථෙරවාදී භික්ෂු කතිකාවතක් ඇති කිරීමට අදාළ පනත් කෙටුම්පත ජනාධිපතිවරයා විසින් මල්වතු, අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනාව ලබා ගැනීම සඳහා පිළිගැන්වීම ද එහිදී සිදු කෙරිණි.
පසුගිය පෙබරවාරි 19 වැනිදා මහනුවර ජනාධිපති මන්දිරයේදී මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් කළ ඉල්ලීම පරිදි මෙම පනත් කෙටුම්පත මාස තුනක් ඇතුළත සකසා නැවත මහනායක හිමිවරුන්ගේ අනුශාසනාව සඳහා පිළිගන්වා තිබිණි.
ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සහ බෞද්ධ ප්‍රකාශන නියාමන පනත විධිමත්ව කඩිනමින් ඇති කිරීමේ අවශ්‍යතාව මහා නායක හිමිවරුන් විසින් මෙහිදී පෙන්වා දුන් අතර ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේය.
ඒ අනුව නිකායන් තුනෙහිම මහානායක ස්වාමීන් වහන්සේලා සමඟ සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන සිදු කිරීමෙන් අනතුරුව එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ද සඳහන් කළේය.
අද උදැසන පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත විය.
මහනුවර නගරයේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් අති නවීන නගරයක් ලෙස එය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා මහනුවර මහනගර සැලැස්මට අදාළ සංවර්ධන කටයුතු මේ වසරේදී ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, රටේ සියලුම මග නගර සංවර්ධන සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කර අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් පැවසීය.
පාතහේවාහැට සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා, නගර සභා බවට පත් කිරීමට අපේක්ෂා කරන බවත් එය මහනුවර නගර සංවර්ධන සැළැස්ම යටතේ ක්‍රියාත්මත් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මහනුවර පැරණි බන්ධනාගාරය සහ තැපැල් කාර්යාලයේ ඓතිහාසික වටිනාකම් සුරක්ෂිත කරමින්, සංචාරක ආකර්ශනයට ලක්වන ප්‍රදේශයක් ලෙස සංවර්ධන කිරීම සඳහා වන සැලසුම් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
එමෙන්ම කුරුණෑගල සහ ගලගෙදර දක්වා වන අධිවේගි මාර්ගය කටුගස්තොට දක්වා දීර්ඝ කිරීමට ඇති හැකියාවත්, ඉන් සැළසෙන ප්‍රතිලාභ පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරිණි.
ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.
අස්ගිරි මහා විහාරයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද එහිදී ජනාධිපතිවරයා විමසා බැලූ අතර අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා ඇතුළු පිරිස වෙත ආශිර්වාද පළ කළහ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ . ගමගේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ හමුවෙන් අනතුරුව ජනාධිපතිවරයා කටුගස්තොට සියඹලාගස්තැන්න වීරකොන් මාවතේ පිහිටි මහනුවර රදගුරු වැලන්ස් මෙන්ඩිස් පියතුමා බැහැ දැක ආශීර්වාද ලබාගෙන එතුමා සමග ද දීර්ඝ සාකච්ඡාවක නිරත වී ඇත. එහිදී පියතුමා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වතුකරයේ ජනතාව පැමිණ වසර 200ක් සැපිරෙන අවස්ථාවේ දී ඔවුන්ගේ සෞඛ්‍ය අධ්‍යාපන හා නිවාස ප්‍රශ්නය විඳීමට කඩිනමින් කටයුතු කරන බව දන්වා ජනාධිපතිවරයා දන්වා ඇත.







