කීර්ති ප්‍රනාන්දු –
ත්‍රී රෝද රථ රියදුරෙක් කහ ඉරක් මත දී කාන්තාවක් හප්පා මරා දමන ආකාරය පිළිබඳ වීඩියෝවක් නිකුත් වී තිබේ.
ඇතුල්කෝට්ටේ අලකේශ්වර පාර කහ ඉරක් මත දී මෙම රිය අනතුර සිදුවන්නේ එම කාන්තාව සහ ඇයගේ පුතා කහ ඉරෙන් පාර මාරුවෙමින් සිටිය දී ය. ඊයේ රාත්‍රියේ සිය නිවස අසල කඩයට ගොස් බඩු ටිකක් රැගෙන කහ ඉර මතින් පාර මාරුවෙමින් සිටි මෙම කාන්තාව ගැටෙන්නේ රාජගියේ සිට පිටකෝට්ටේ දක්වා ගමන් කළ ත්‍රී රෝද රථයකය.
මෙම අනතුරුන් මියගොස් ඇත්තේ ඇතුල් කෝට්ටේම පදිංචි ලලිතා පෙරේරා නැමැති 70 හැවිරිදි කාන්තාවකි.
කළුබෝවිල රෝහළට ඇතුළත් කරන විටත් කාන්තාව මිය ගොස් සිටි බව පොලිසිය කියයි. අනතුර සිදුකළ ත්‍රීරෝද රථ රියදුරා සහ රථය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය කියන්නේ අනතුර සිදුවන අවස්ථාවේ දී ත්‍රී රෝද රථය පෙරළීම හේතුවෙන් ඇති වූ තුවාල මත ත්‍රීවිල් රථ රියදුරුත් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවය.
එහෙත් සීසිටීවී දර්ශනවල ඔහුගේ ත්‍රී රෝද රථය පෙරළෙන බවක් පෙනෙන්නට නැත.
මේ වාර්තා වන්නේ ඊයේ රාත්‍රියේ කහ ඉරමත දී හප්පා මරා දැමූ තුන්වැන්නාය. ඊයේ නුවර ධර්මරාජ විද්‍යාලය අසල කහ ඉරක් මත 42 හැවිරිදි පියෙක් සහ 11 පුතෙක් මිනීමරු ජිප් රියදුරෙක් විසින් මරා දැම්මේය.







