ශ්‍රි ලංකාවේ නිරිත දිග තීරයේ කැලෑබද ප්‍රදේශයක් තුළ රේඩාර නිරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා චීනය සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය ක්‍රියාකාරකම් නිරීක්ෂණය සහ ඉන්දියානු සාගර කලාපය තුළ ඇමෙරිකානු මෙහෙයුම් පිළිබඳව දැඩි ලෙස නිරීක්ෂණය කිරීමේ අරමුණින් මෙම රෙඩාර් මධ්‍යස්ථානය පිහිටුවීම සම්බන්ධයෙන් චීනය මේ වනවිට යෝජනා කර ඇති බව මේ පිළිබඳව සැකසුණු වාර්තාවක් පදනම් කරගෙන මුලින්ම එකොනොමික් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත වාර්තා කළේය.
කෙසේ වුවද මෙම යෝජනාව සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් කිසිවකු ප්‍රකාශ කර නොමැති අතර ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ කොළඹින් කිලෝ මීටර 155ක් පමණ නිරිත දිග දෙසට පිහිටි දෙවුන්දර තුඩුවේ බිම් කඩක් මේ සඳහා තෝරා ගෙන ඇති බවයි.
චීනයේ චයිනීස් ඇකඩමි ඔෆ් සයන්ස් ආයතනයට අනුබද්ධ ගගන තොරතුරු පර්යේෂණ ආයතනය විසින් මෙම යෝජනාව ගෙන එනු ලැබ ඇති බව සඳහන් වේ. විශේෂයෙන් ඉන්දිය නාවික හමුදාවේ සහ ඇමෙරිකානු නාවික හමුදා ඇතුළු ඉන්දීය සාලර කලාප ක්‍රියාකාරකම් දැඩි ලෙස නිරීක්ෂණය කිරීම මෙම මධ්‍යස්ථානයේ අරමුණ වී ඇති බව සඳහන් වේ. මෙමඟින් එම ස්ථානයේ සිට කිලෝ මීටර 1700ක් ඈතින් පිහිටි දියාගෝ ගාෂියා දූපත්වල පිහිටි ඇමෙරිකානු නාවික හමුදා මධ්‍යස්ථානයේ සිට සිදුවන නාවික මෙහෙයුම් නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ. එම නිරීක්ෂණ මධ්‍යස්ථානය ස්ථාපනය කළහොත් ශ්‍රි ලංකාවේ සිට අන්දමන් දූපත් ඇතුළු ඉතා විශාල සාගර කලාපයක සහ ගුවන් කලාපයක මෙහෙයුම් නිරීක්ෂණය කිරීමේ හැකියාව චීනයට ලැබෙනු ඇති බවද එම මාධ්‍ය වාර්තාවල තවදුරටත් සඳහන් වේ.







