ලක් එක තියන දාට ජොකියා මොකා උනත් අස්සයින් වින් කරන්නේය. තරගය සම කළ පසු සුපිරි ඕවරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පළමු තරග ජයග්‍රහණය එවැනි අහම්බයක් බව නවසීලන්තය අද ලෝකයට කීවේය.

ඒ නවසීලන්ත කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව පන්දු ඕවර 19ක් තුළ ලකුණු 141කට දවාගෙන පන්දු ඕවර 14.4 ක දී කඩුළු 01ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කර යෑමෙනි.
ශ්‍රී ලංකාව පරාය කර නවසීලන්ත කණ්ඩායම කඩුළු 09කින් දිනුම්ය.
පරාජය පිළිගත යුතුය. එය පිළිගැනීම කිසිම ගැටලුවක් නැත. එහෙත් පරාජයක් වුවද පිළිගත හැකි පරාජයක් විය යුතුය.
දැන් මේ ලියන අපට බුකියේ ක්‍රිකට් ඔස්තාද්ලා කියා කුණු කතා කියන්නට අවශ්‍ය නැත. ක්‍රිකට් මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතය තරම් සමීපය. ඒ ගේම ගහන්නට අපට බැරි නිසා කෝටි දෙකක් නියෝජනය කරන්නට හොඳම 11ක් පිට්ටනියට යැවූ විට උන් සෙල්ලම් කරන්නේ අල්ලපු ගමේ කජුවත්ත එක්සත් කණ්ඩායමටත් පහළට ගිහින් නම් අනේ ක්‍රිකට් ඔහොම තමයි කියා පවන් සලන්නට ඉල්ලීම අසාධාරණය.
මක් නිසාද යත් ක්‍රිකට් ඔහොම නොවන නිසාය.
පරාජයේ දී කුණු බැනුම් බැන ජයග්‍රහණයක දී ඔජ වඩනවා නොවේ. එහෙත් එක් තරගයක් මවිත කරවන ලෙස ක්‍රීඩා කර අනුයාත ඊලඟ තරගය කුජීතවන ක්‍රිකට් රටාවට හේතුව කුමක් දැයි අපට තේරෙන්නේ නැත.
මේ කුණුහරපය ගැන කෝටි බාගයකට වඩා වැඩි මුදලකින් මාසයකට පඩි ගන්නා උපදේශකයින් ඇතුළු පුහුණු කරුවන් කන්දරාවෙන් ද මේ රටේ ක්‍රිකට් ලොලීන් විමසිය යුතුව ඇත.
අද තරගය ගැන කතා කරන තේරුමක් නැත.
කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට මුලින්ම පන්දුවට පහරදීමට ඇරයුම් කළේය.
මේ පළමු තරගයේ ලකුණු 196ක් ලබාගෙන සුපිරි ඕවරයෙන් ජයග්‍රහණය කළ කණ්ඩායමේ පිතිකරණය දැයි සිතන තරමට පිතිකරණය සිල්ලරය.
කුසල් ජනිත් පෙරේරා සහ ධනංජය ද සිල්වා හැර පිතිකරණය සම්බන්ධව සැලකිය යුතු දෙයක් කියන්නට නැත. කුසල් පන්දු 32ක දී හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 35ක් ලැබුවේය. ධනංජය ද සිල්වා ලකුණු 37ක් ලැබුවේ පන්දු 26ක දී ය. ඔහු හයේ පහර 2ක් සහ හතරේ පහර 03ක් එල්ල කළේය.

චරිත් අසලංක හයේ පහර 2ක් සමගින් ලකුණු 24ක් ලැබුවේය.
නමුත් කුසල්ගේ සහ ධනංජයගේ හැර වගකීම් සහගත පිතිකරණයක් කිසිම පිතිකරුවෙක් පෙන්නුවේ නැත. දසුන් ශානක යළිත් ෆේල්ය. පිත්තේ අග වැදී කනාපිට ගිය හතරේ පහරක් සමග ඔහු ලබා ගත්තේ ලකුණු 07කි.
කුසල් මෙන්ඩිස් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 10ක් ලැබීය.
අනෙක් කිසිම ක්‍රීඩකයෙක් ලකුණු 10 සීමාව ඉක්මවූයේ නැත.
ලකුණු 141 ලබා ගැනීමට පැමිණි නවසීලන්ත කණ්ඩායම අපේ පන්දු යවන්නට වඩාගෙන ගැහුවේය.
මුල් කඩුල්ල දැවී යන්නේ ලකුණු 40 දීය. දැවී ගියේ ඒ කඩුල්ල පමණය. කසුන් රාජිත ඒ කඩුල්ල දවා ගත්තේය. ආරම්භක පිතිකරු චැඩ් බවුස් දැවී ගියේ පන්දු 15ක් තුළ ලකුණු 31ක් රැස් කරගෙන සිටියදී ය. ඔහු ලකුණු 28ක් ලබා ගත්තේ හතරේ පහර වලිනි. ප්‍රහාරයට හතරේ පහර 07කි.
අනෙක් අන්තයෙන් ආරම්භක පිතිකරණයට පැමිණි ටිම් සෙයිෆර්ට් නොදැවී ලකුණු 79කි. මුහුණ දුන්නේ පන්දු 43කට පමණි. හතරේ පහර 03කි. හයේ පහර 06. ලකුණු 48ක් හතරේ සහ හයේ පහරවලිනි. ටොම් ලැතම් නොදැවී ලකුණු 20කි. අවසන් ලකුණත් හයේ පහරකිනි. ලකුණු 146කි.
පන්දු ඕවර 14.4කින් විස්සයි 20 තරගය ඉවරය.







