මනම්පිටිය නිමල් ජයරත්න –
තම ගොයම සඳහා ඉසීමට රජයේ සහනාධාර යටතේ ලබාගත් යූරියා පොහොරවලින් හඳුනා නොගත් කළු පැහැති කුඩා පණුවන් මතුවූ ඇති බව මහවැලි බී කලාපය දිඹුලාගල මනම්පිටිය ගොවීහු පිරිසක් සඳහන් කළහ.
යූරියා පොහොර මිටියක් සඳහා තමන් රුපියල් 10,000 ක මුදලක් ගෙවා ගොවිජන සේවා මධ්‍යස්ථානය හරහා ලබාගත් මෙම පොහොර තොගවල පණුවන් සිටින බවත්, මෙම තත්ත්වය මත ගොයමට එම යූරියා පොහොර ඉසීමෙ අවදානමක් මතුව ඇති බවත් නැගෙනහිර මනම්පිටිය ගොවීන් පිරිසක් පැවසූහ.

මනම්පිටිය ප්‍රදේශයේ 46 හැවිරිදි එන්. ජී. සරත් කුමාර ගොවි මහතා 26 වෙනිදා සවස යූරියා පොහොර තම කුඹුරට ඉසීමට ගිය විටදී එම කුඩා කළු පැහැති පණුවන් පොහොර මිටිය තුළ සිටිනු දැක ඇති අතර ඒ බව මනම්පිටිය ප්‍රදේශයේ ගොවීන් කිහිප දෙනෙකුටද පැවසීමෙන් පසු ඔවුහු මේ පිළිබඳව මාධ්‍යයට අනාවරණය කළහ.
මනම්පිටිය ප්‍රදේශයේ ගොවීන් රැසක් එම යූරියා පොහොර ගොයමට යොදා තිබෙන අතර 26 වෙනිදා ගොයමට යෙදිම සඳහා ගෙනා පොහොර මිටියේ හඳුනානොගත් කුඩා කළු පැහැති පණුවන් සිටීමත් සමග ඒවා කුඹුරට යෙදීමෙන් වෙනත් රෝග පැතිරීමේ අවදානමක් ඇතිවන බවට ගොවීහු සැකපළ කරති,
හඳුනා නොගත් එම කුඩා කළු පැහැති පණුවා යූරියා මිටිය තුළ ඉක්මනින් සැගවෙන බවත්, යූරියා මිටියෙන් පනුවා මතු කරගත් පසු වූ හැකිලෙන බවත්, අප සමඟ අදහස් දැක්වමින් මනම්පිටිය සංවිධානයේ සාමාජිකයෙකු වන චමින්ද නිශාන්ත කුමාර සඳහන් කළේය.
අප මේ පිළිබඳව මනම්පිටිය කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර මහින්ද බණ්ඩාරෙගෙන් කළ විමසීමකදී ඔහු පැවසුව මනම්පිටිය ගොවීන් ඒ පිළිබඳ තමා දැනුවත් කර ඇති බවය.
යූරියා පොහොර වල පණුවන් සිටීමට නොහැකි බවත් ඒ පිළිබඳ ඉහළ කෘෂිකර්ම බලධාරීන් දැනුවත් කිරීමට තමා කටයුතු කරන බවත් ඔහු කීවේය.
මෙම යුරියා පොහොර මගින් වෙනත් රෝගයක් ගොයමට පැතිරීමට පෙර ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකර ගොවිජනතාවට කරුනු පැහැදිලි කරන ලෙසද මහවැලි බී කලාපයේ දිඹුලාගල මනම්පිටිය ගොවිජනතාව රජයෙන් ඉල්ලා සිටිති.







