පසුගිය මාස හයක කාලය තුළ ඉන්දියාවේ මෙන්ම පකිස්තානයේ ද කුරුළු උණ රෝගය පැවැති බැවින් එම රට වලින් බිත්තර ආනයනය කිරීමට කිසිදු ලෙසකින් අවසර ලබාදිය නොහැකි බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල අවධාරණය කරයි.
අවශ්‍යය නම් කුරුළු උණෙන් තොර ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ,තායිලන්තය, මැලේසියාව, ඇමරිකාව වැනි රටවලින් බිත්තර ආනයනය කිරීමේ කිසිදු බාධාවක් නොමැති බවද ඇය ප්‍රකාශ කළාය.
මහනුවර ගන්නෝරුවේ පිහිටි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ දී අද (11) පැවැති මාධ්‍ය හමුවක දී අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ බව පැවසුවාය.
පසුගිය කාලය තුළ කුකුළු කර්මාන්තය සඳහා අවශ්‍යය මව් සතුන් ආනයනය කිරීමට අවසර ලබා දුන්නේ ද කුරුළු උණෙන් තොර බවට සහතික කරගත් රටවලින් පමණක් යැයිද අධ්‍යක්ෂ ජනරාල්වරිය කීවාය.
සතෙක් හෝ සත්ත්ව නිෂ්පාදනයක් ආනයනය කරන්නේ නම් ඒ ඔස්සේ රට තුළට රෝග ඇතුළු වීම වැලැක්වීම සඳහා 1992 අංක 59 දරන සත්ත්ව රෝග පනත ප්‍රකාරව කටයුතු කළ යුතුව තිබෙන බවත් එහි දී ආනයන අපනයන ජනරාල්වරයා අනුමැතිය ලබාදිය යුත්තේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තාක්ෂණික නිර්දේශය පදනම් කරගෙන බවත් ඇය කීවාය.
කුකළු පැටට්, මස්, බිත්තර පමණක් නොව කුකුළු පිහාටු පවා මෙරටට ආනයනය කරන බවත් ඒ සෑම අවස්ථාවකදීම සත්ත්ව රෝග පනතට අනුව කටයුතු කරන බවත් ඇය ප්‍රකාශ කළාය.
ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම සම්බන්ධව අවධානයක් යොමුව තිබෙන බවත් පසුගිය නොවැම්බර් මාසයේදී ද එම රටින් කුරුළු උණ රෝගය වාර්තා වී තිබෙන බැවින් කිසිසේතම ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදිය නොහැකි බවත් ඇය අවධාරණය කළාය.







