ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සියදිවි නසාගැනීමක් බවට විමර්ශනවලින් කිසිම අවස්ථාවක ප්‍රකාශ වී නොමැති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
දිනේෂ් ෂාෆ්ටර් සියදිවි නසා ගැනීමකින් මිය ගිය බව රහස් පොලිසිය තහවුරු කර ඇතැයි සති අන්තයේ පුවත්පත් වාර්තා කිහිපයක් පළ වී තිබීම සම්බන්ධව කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ. දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සියදිවි නසාගැනීමක් බවට කිසිදු වාර්තාවක් විමර්ශන නිලධාරීන්ගෙන් ලැබී නොමැති බවයි.
තහවුරු වූ නිවැරදි තොරතුරු පමණක් වාර්තා කරන ලෙසත් එසේ නොවීම විමර්ශනයට බාධාවක් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් 175කට ආසන්න පිරිසකගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, නඩු භාණ්ඩ 14කට ආසන්න ප්‍රමාණයක් වැඩිදුර විශ්ලේෂණය සඳහා රජයේ රස පරීක්ෂක වෙත යවා ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
“ඊට අමතරව දුරකථන හා බැංකු වාර්තා ඇතුළු දත්ත එක්රැස් කරමින් පවතිනවා… සිද්ධියට අදාළව ගැඹුරු පරීක්ෂණ ක්‍රියාත්මකයි. එහෙත් තවම ඍජු සැකකරුවන් කිසිවෙකු හෝ මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැහැ.“ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිළි කළේය.
52 හැවිරිදි ව්‍යාපාරිකයා 2022 දෙසැම්බර් 15 වන දින බොරැල්ල කනත්තේදී ඔහුගේ මෝටර් රථයේ රියදුරු අසුනේ ගැට ගසා සිටියදී සොයා ගෙන ඇති අතර පසුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය.







