අද උදෑසන මහනුවරට ගැලූ මහා ජල කඳෙන් යට වුන ප්‍රදේශවලින් කොටසක ජලය බැස ගොස් ඇත.
ජලයට යටවීමෙන් දැඩිව බලපෑමට ලක්වුන අකුරණ ප්‍රදේශයේ ජලය තමත් බැස යමින් ඇත. එම ජලබැස්ම සිදුවන්නේ තරමක මන්දගාමීව බව නුවර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 322 පුද්ගලයින් 1367යි අවතැන් වී ඇත. පූර්ණ නිවාස හානි 01යි. අර්ධ හානි 61ක් වාර්තා වී තිබේ. තවමත් ජලයෙන් යටවී ඇති අකුරණ ප්‍රදේශයේ සිදුවූ ආපදා තත්ත්වය මේ වනවිටත් ගණනය කර නැත.
නායේ යෑම් සහ ජල ගැලීම් ඇතුළු අවදානමට ලක්විය හැකි ප්‍රදේශ ලෙස ගඟවට කෝරලය, අකුරණ, උඩුනුවර, පාතහේවාහැට, හාරිස්පත්තුව, දෙල්තොට මේ වනවිට හඳුනාගෙන තිබේ.
සුදුහුම්පල මුල්ගම්පල ප්‍රදේශයේ මැද ඇල දෙපස කොටස්වල ජලය බැස ගොස් ඇත. ජලයට යටවීම නිසා නිවෙස් හැරදා ගිය පිරිස් යළි සිය නිවෙස් වෙත පැමිණ සිටිති.

විශාල විනාශයක් සිදුකිරීමෙන් පසු මහනුවර දුම්රිය ස්ථානය යටකළ ජලකඳත් බැස ගොස් තිබේ. සිදුවී ඇති හානිය ගණනය කරමින් සිටින බව මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති ආර්එම්පී රත්නායක පවසයි.
විශේෂයෙන්ම දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට ජනතාව විසින් ලබා දුන් පාර්සල් ගණනාවක් විනාශ වී තිබීම බරපතල කාරණාවක් බව පවසන දුම්රිය ස්ථානාධිපතිවරයා ඒ සඳහා සුදුසු වන්දියක් ගෙවීමට සිදුවන බව පෙන්වා දෙයි.
දුම්රිය සඳහා නිකුත් කිරීමට ගබඩා කර තිබූ ප්‍රවේශපත්‍ර තොග ගබඩා කර තිබූ ප්‍රදේශය ද ජලයෙන් යට වීම නිසා ප්‍රවේශපත්‍ර තොග විනාශ වී තිබේ. ඉන් හැකි ටිකට් ප්‍රමාණයක් වියලා භාවිතයට ගැනීමට සූදානම් කර ඇත

නුවර දුම්රිය ස්ථානය ටිකට් අලෙවියන් සහ පාර්සල් මෙහෙයුම්වලින් දිනකට රුපියල් මිලියන දෙකක ආදායමක් ලබයි. අද එම ආදායම මුලුමනින්ම නැවතී තිබිණි.
නුවර නගරයේ දිය බැස්ම සඳහා අතීතයේ සිට යොදා ගත් භූගත ජල මාර්ගය වන්නේ මැද ඇලය. එය නුවර යුගයේ ඉදිකළ ඓතිහාසික ඉදිකිරීමකි. නගරයට එකතුවන ඉවත් කරන මෙම භූගත ජල මාර්ග සියල්ලට වැසිකිලි කානු හැරවීම සහ නිසි නඩත්තුවකින් තොරවීම මෙවැනි ආපදා ඇතිවීමට ප්‍රධාන හේතුවක් බව වාර්තා වේ.
වසර කීපයක සිට මැද ඇල සහ භූගත ජල මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු ආරම්භ වුවද විවිධ හේතු මත එම කටයුතු අඩාල වූයේය.







