ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ හිටි අඩියේ විශේෂ ගැසට් පත්රයකට අත්සන් තැබීය.
එම ගැසට් පත්‍රය ක්‍රීඩා පරිපාලනයේ යෙදී සිටින බොහෝ දෙනකුගේ ඇස් උඩ යැවීමට සමත් විය.
මෙම නව ගැසට් පත්‍රයට අනුව සියලුම ජාතික ක්‍රීඩා සංගම්වල දුම්මල ගසාවත් එළවා ගත නොහැකිව සිටි ගෙවලයන් කුම්භාණ්ඩයන් රැසකට යන එන මං නැතිව තිබේ.
මේ ගැසට් පත්‍රයෙන් කියවෙන පරිදි මින් මතු කිසිදු ක්‍රීඩා සංගම් නිලවරණකදී වයස අවුරුදු 70 ට වැඩි අයට ඉදිරිපත් විය නොහැක.
හරි නම් මෙම වයස් සීමා පැනවීම මුලින්ම සිදු කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුවටය.
එහෙත් එය ක්‍රීඩා සංගම් වලින් හෝ පටන් ගැනීම හොඳ පූර්වාදර්ශයකි.
මීළඟට පිට පිට වාර දෙකක් සභාපති පුටුවේ සිටි අයකුට නැවත තරග කළ නොහැකි බවටත් වසර අටක් මොන තනතුරුවල රැඳී සිටියත් නැවත තරග කළ නොහැකි බවටත් නීතියක් පනවා තිබේ.
මේ අනුව ක්‍රිකට්, මලල ක්‍රීඩා, වූෂු ඇතුළු බොහෝ ක්‍රීඩා සංගම්වල මුල් ඇදගෙන සිටි නිලධාරීන් බොහෝ දෙනකුගේ බලාපොරොත්තු සුන්ව ගොස් ඇත.
ද්විත්ව පුරවැසියන්ටද ක්‍රීඩා නිලවරණවලට ඉදිරිපත් විය නොහැකි බව නව රෙගුලාසි වලට ඇතුළත් කොට තිබේ
මීට පෙර දූෂණ චෝදනා වලට ලක්ව සිටින නිලධාරින්ටද යළි තරග කළ නොහැකිය.
සූදු හා බුකි ව්‍යාපාර වලට සම්බන්ධ කිසිවකුට ක්‍රීඩා සංගම් නිලවරණයකට ඉදිරිපත් විය නොහැකි බවට හරින් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ පාර්ලිමේන්තුවේදීම ක්‍රීඩා පනතට සංශෝධනයක් රැගෙන ඇවිත් සම්මත කර ගන්නා ලදී.
අප රටේ බොහෝ තැන් පරිදි ක්‍රීඩා පරිපාලනයද දූෂිත වී හමාරය.
ජාතික ක්‍රීඩා සම්මේලන හෝ සංගමයක මුල් පුටුවක් දැරීම සමාජය තුළ පිළිගැනීමකට ලක් වනවා පමණක් නොව විදෙස් සංචාර, ජාත්‍යන්තර සංගම් වලින් ලැබෙන ඩොලර් ආධාර, ලිංගික අල්ලස්, විශාල කොමිස් ඇතුළු තව බොහෝ වරප්‍රසාද වලට හේතුවක් බවට පත් වීමත් සමග බොහෝ සංගම්වල මුල් පුටුවලට පත් වූවන් එළවා ගැනීම අපහසු කරුණක් වී තිබිණ.
මේ සඳහා ක්‍රීඩා පනතේ යල් පැන ගිය ඇතැම් වගන්තිද පනින රිළවුන්ට ඉණි මං තැබීමක් බඳු විය.
බලයේ සිටියදී චන්ද හිමි සංගම් හා ක්‍රීඩා සමාජ නියෝජිතයන්ට සන්තෝසම් ලබා දෙමින් දිගින් දිගටම මුල් පුටු වල රැඳී සිටීම බොහෝ සංගම් වල සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව තිබිණ
මේ තත්ත්වය වඩාත් බරපතල ලෙස තිබුණේ ක්‍රිකට්, පාපන්දු, බැඩ්මින්ටන්, බොක්සිං, වූෂු, රග්බි, මලල ක්‍රීඩා,වැනි ක්‍රීඩා සංගම් වලය.
ජාතික ඔලිම්පික් කමිටුවද එසේමය.
මේ අනුව ක්‍රීඩා ඇමතිවරයා විසින් ගන්නා ලද තීරණය අගය කළ යුතුව තිබේ.
එහෙත් ක්‍රීඩා ඇමතිවරයාගේ විශේෂ අවසරය මත තරග කළ හැකි බවට ඇති වගන්තිය තවමත් සංශෝධනය කොට නොමැති අතර එමගින් ඕනෑම නුසුදුස්සකුට ,හෙංචයියකුට ඇමතිවරයා අල්ලාගෙන සංගමයක බලයට ඒමේ හැකියාව තවමත් තිබීම කනගාටුවට කරුණකි.
එනිසා ඉදිරියේ එම හිඩසින් රිංගීමට මාන බලන් සිටින කිසිවකුට ඉඩක් නොතැබීම ක්‍රීඩා ඇමතිවරයාගේ වගකීමකි.
කෙසේ වෙතත් මෙම නව රෙගුලාසි වලට විරුද්ධව මානව හිමිකම් යටතේ උසාවි යාමට සමහරු කටයුතු කළහොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත.
ඒ මේ සිරි ලංකාව නිසාය.