නව කැබිනට් අමාත්‍ය ධූර දහයක් සහ රාජ්‍ය අමාත්‍ය ධූර 04ක් අපේක්ෂාවෙන් විස්සකට ආසන්න පිරිසක් මේ වනවිට තරගයක යෙදී සිටින බව ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ උපදෙස් පරිදි කැබිනට් අමාත්‍ය ධූර පත් කිරීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහට තවත් ලිපියක් යොමු වී ඇතැයි ද එම ආරංචි මාර්ග හෙළි කරයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ගේ අත්සන්නින් යුතුව ජනාධිපතිවරයා වෙත නැවත වරක් යොමු කර ඇති මෙම ලිපිය මගින් කැබිනට් සංශෝධනය හා පොදු ජන පෙරමුණෙන් ඊට ඇතුළත් විය යුතු නාම ලේඛණය ඇතුළත් කර ඇති බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන් අලුත්ගමගේ, සනත් නිශාන්ත යන අයට ඇමති තනතුරු ලබා දීම අවධාරණය කර ඇති බවත් වාර්තා වේ.
මේ සම්බන්ධව ජනපති විසින් පිළිතුරු ලිපියක් යවා නැති නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ඇමති මණ්ඩල සංශෝධනය සම්බන්ධව සාකච්ඡා ආරම්භ වී ඇත. .
නව කැබිනට් මණ්ඩලයට තවත් කැබිනට් ඇමතිවරු දහයක් සහ ඊට අමතරව රාජ්‍ය ඇමතිවරු හතක් පත් කිරීමට නියමිතව ඇති නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා සමගි ජන බලවේගයෙන් තනතුරු සහිතව ආණ්ඩුවට එක් වීමට කැමැත්ත පල කර ඇති පිරිසේ ප්‍රමණයත් බැසිල් රාජපක්ෂ විසින් ඇමති ධූර සඳහා ඉදිරිපත් කර ඇති ලයිතුවත් එක් කළ විට එම සංඛ්‍යාව විස්ස ඉක්මවා යන බව පෙනී ගොස් තිබේ.
ජනාධිපතිවරයා මේ වනවිට මෙම උභතෝකෝටිකය විසඳමින් සිටින බවත්, අයවැය ඡන්දයෙන් අනතුරුව කැබිනට් සංශෝධනය සිදුවන බවත් ආණ්ඩුවේ ආරංචි මාර්ග තහවුරු කරයි.







