නුවන් ජයසේකර –
හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක දී යුවළක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ “අදුපැලෑන බිංදු” සහ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව හුංගම පොලිසිය පවසයි.
අදුපැලෑන බිංදු සහ තවත් සැක කරුවන් තිදෙනෙක් පොලිස් අත් අඩංගුවට පත්ව ඇත්තේ අද උදෑසනය. මේ ඝාතනයේ ප්‍රධාන සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමට ද සම්බන්ධ පුද්ගලයෙක් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඝාතකයින් නිවසට ඇතුළු වී මෙම ඝාතනය සිදුකර ඇත්තේ අද අළුයම 12.45ට පමණය. ඝාතනය වී තිබුණේ 28 හැවිරිදි පසිඳු හේෂාන් නැමැති පුද්ගලයෙක් සහ ඔහුගේ 28 හැවිරිදි අනියම් බිරියවන ඉමේෂා මධුෂානි නැමැත්තියකි. පසිඳු හේෂාන් ගේ ගෙලෙන් හිස වෙන්වන පරිදි කපා දමා තිබුණු අතර කාන්තාව ද තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබිණි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා පුද්ගල ඝාතන දෙකක සැකකරුවෙක් බවත්, පසුගිය වසරේ දී ඔහු සමග ධීවර රැකියාවේ නිරතව සිටි ස්කිපර් ඝාතනය කිරීමේ චෝදනාවක් සැකකරුට ඇති බවත් විමර්ශන අංශ පවසයි. වරෙන්තු පිට සිටි ඔහු පොලිසිය විසින් පෙරේදා අත් අඩංගුවට ගෙන ඊයේ ඇප මත නිදහස් කර තිබුණු තැනැත්තෙකි.
මේ තැනැත්ති මින් පෙර ද ඝාතනය කිරීමට උත්සාහ කර තිබුණු අතර දැඩි භිතියකින් ජීවත් වෙමින් සිට ඇත. ඔහු ඝාතනය වන්නේ අද අළුයම නවාතැනෙන් පිටවී පැමිණ කොළඹ ප්‍රදේශයේ රහසිගතව සැඟවී සිටීමට සැලසුම් කර තිබියදීය. පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







