හැකි ඉක්මනින් තමන්ගේ ණය කපා හැරීමට එකඟ වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලා ඇතැයි අද (12) බීබීසී වාර්තා කරයි.
එහෙත් ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන ගණනක ණය අඩු කිරීමට චීනය සහ ඉන්දියාව පළමුව එකඟ වන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අපේක්ෂිත ඩොලර් බිලියන 2.9ක මුදල් නිදහස් නොකරන නිසා මහ බැංකුව මෙම ඉල්ලීම කර තිබේ..
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා බීබීසී නිව්ස්නයිට් වෙත පවසා ඇත්තේ මේ සම්බන්ධව කඩිනමින් ක්‍රියා කිරීම සියලු පාර්ශ්වයන්ගේ අවශ්‍යතාවය බවයි.
“ඔවුන් ඉක්මනින්ම අපට මූල්‍ය සහතික ලබා දීම ණයහිමියෙකු ලෙසත්, ණයගැතියෙකු ලෙසත් දෙපාර්ශවයට යහපත් වනු ඇති.”
“එය ඔවුන්ගේ ණය මුදල් ආපසු ගෙවීම ආරම්භ කිරීමට අපට උපකාරී වනු ඇති,” ඔහු තවදුරටත් පැවසීය.
“අපිට වැඩි කාලයක් මේ වගේ වගකීම් ඉටු නොකර ඉන්න ඕන නෑ. ඒක රටටත් අපිටත් හොඳ නෑ. ඒක ලංකාව ගැන ආයෝජක විශ්වාසයට හොඳ නෑ.”
පසුගිය වසරේ සිට රටේ උද්ධමනය සුළු වශයෙන් අඩු වී ඇතත්, පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ ආහාර මිල ගණන් පෙර වසරකට වඩා 65% කින් ඉහළ ගොස් තිබේ..
ලෝක ආහාර වැඩසටහන ඇස්තමේන්තු කරන්නේ ශ්‍රී ලාංකිකයන් මිලියන 8 ක් – ජනගහනයෙන් තුනෙන් එකකට වඩා – “ආහාර අනාරක්ෂිත” භාවයෙන් පෙළෙමින් ඇති බවය. විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල සාගින්න කේන්ද්‍රණය වී ඇත.
2022 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 9.2% කින් හැකිලී ගිය අතර එය මේ වසරේ තවත් 4.2% කින් හැකිලෙනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කරයි.
බීජිං ශ්‍රී ලංකාවට දෙන ලද ණය ඩොලර් බිලියන 7කි. ඉන්දියාවට ශ්‍රි ලංකාව ඩොලර් බිලියන 1ක් පමණ ණය වී තිබේ.
2022 වසර අවසන් වන විට චීනය සහ ඉන්දියාව සමඟ නව ගෙවීම් සැලැස්මකට එකඟ වනු ඇතැයි ශ්‍රී ලංකා රජය මුලින් බලාපොරොත්තු විය.
මේ සම්බන්ධව ජනවාරි මාසයෙන් පසුව ගිවිසුමක් ඇති විය හැකි බව පැවසූ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ “මේ සියල්ල රඳා පවතින්නේ අනෙක් පාර්ශ්ව මත යි – අපගේ ණය හිමියන්ට එම තීරණය ගත යුතුව ඇති” යනුවෙන් පැවසීය.
ඔවුන්ට අවශ්‍ය රටේ ණය ගැනීම් පිළිබඳ සියලු තොරතුරු ශ්‍රී ලංකාව මේ වන විට ඔවුන්ට ලබා දී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
බීබීසී –









