දිනසේන රතුගමගේ –
යාපනයේ පේදුරුතුඩුව පොලීසිය විසින් අත් අඩංගුවට ගත් සැකකරුවකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ සේවය ඊයේ ( 29 ) සිට අත්හිටුවා තිබේ.
පේදුරුතුඩුව ප්‍රදේශයෙන්ම අත් අඩංගුවට ගත් තරුණයෙකු පොලීසියට රැගෙන යාමෙන් පසුව ඔහුට පහර දීම නිසා බරපතල තුවාල සිදුව ඇති අතර පසුව ඔහුව ප්‍රතිකාර සඳහා පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට තිබේ.
එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ එම තරුණයා මිය ගොස් ඇති අතර මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුගේ සිරුරේ අභ්‍යන්තර අවයවවලට දැඩි ලෙස හානි සිදුවීම නිසා අධික ලෙස රුධිරය වහනය වීමෙන් හා දැඩි කම්පනයෙන් මෙම මරණය සිදුව ඇති බවට නිගමනය වී තිබේ.
ඒ අනුව අධිකරණ නියෝගයක් මත පහර දීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පොලිස් කොස්තාපල්වරු දෙදෙනා අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනාව එක් අයෙකුට රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත දෙදෙනාව පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයා විසින් නිදහස් කොට තිබේ.
ඒ අතරවාරයේ කන්කසන්තුරේ පොලිස් අධිකාරීවරයා විසින් සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ නඩුව අවසන් වන තුරු ඔවුන් දෙදෙනාගේ සේවය අත්හිටුවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභගය සැප්තැම්බර් මස 12 වෙනිදා පැවත්වීමට නියමිතය.







