කිර්ති ප්‍රනාන්දු –
වර්ෂ 1979 ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ පනතටත් වඩා බිහිසුණු ජන පීඩක 2023 ත්‍රස්ත විරෝධී පනත හෙලා දකින බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.
1979 සිට බලගන්වන ලද පනත අහෝසිකර පසුගිය මාර්තු 17 දා ගැසට් කරන ලද 2023 ත්‍රස්ථ විරෝධී පනත අධ්‍යයනයේ දී පැහැදිලි වන්නේ ඉන් අපේ රට කබලෙන් ලිපට වැටුණු බවක් බව කාදිනල් තුමෝ පෙන්වා දෙති.
උන්වහන්සේ කියන්නේ පවතින රජය තව තවත් අසීමිත බලතල ලබාගෙන භාෂණයේ හා ප්‍රකාශනයේ ද විරෝධතා දැක්වීමේ ද නිදහස අකුලා දමන ආකාරය මේ පනත තුළින් පැහැදිලි කරගත හැකි බවය.
රැඳවුම් නියෝග ලබා දීම සම්බන්ධව පැරණි පනතටත් වඩා මෙම පනත බිහිසුණු බව උන්වහන්සේ කියති.
රටේ නීතිගරුක පැවැත්ම මෙන්ම අධිකරණයේ නිදහස ද පිරිසිදු ප්‍රජාතන්තවාදය ද ආරක්ෂා කරමින් රටක් ලෙස කටයුතු කළ යුතු මොහොතක මෙවැනි දරදඬු නීතියක් අනුමත කරන්නට මාන බලන රජය මේ කරන්නේ කරන්නේ වඩාත් ධරුණු මර්ධනයක් ජනතාව මත පැටවීම පමණක් නොව, ජනතාව සහ ජාත්‍යාන්තරය මුලා කිරීමත් බව කාදිනල් හිමියෝ පෙන්වා දෙති.
ජන පීඩක වහල්බව හා ඒකාධිපති වියරුව රට තුළ ස්ථාපිත කරන මෙම පනතට පක්ෂව ඡන්දය පාවිච්චි කරන යමෙක් වේද ඔවුන් රට හා ජනතාවට ආදරය නොකරන බව උන්වහන්සේ පැහැදිලිව නිවේදනය කරති.
මේ පනත ප්‍රතික්ෂේප කිරීමට මව්බිමට ආදරය කරන සියල්ලන්ම එකඟවනු ඇතැයි අපේක්ෂා කරන අතර මෙම පනතට එරෙහි වන ලෙස ඉල්ලා සිටින බව ද කාදිනල් තුමෝ ජනතාවට දැනුම් දෙති.
සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.








