දිනසේන රතුගමගේ –
වවුනියාවේ කූමාංකුලම ප්‍රදේශයේදී ගම්වාසීන් පිරිසක් හා පොලීසිය අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 12 ) පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මෙම ගැටුමේදී පොලිස් නිලධාරීන් පස් දෙනෙකු තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුළත් කෙරිනි.
පසුගිය සිකුරාදා රාත්‍රීයේ කූමාංකුලම කෝවිලේ උත්සවයක් පැවති අතර පොලිස් රථවාහන ඒකකයේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයේ රාජකාරී වල නිරතව සිට ඇත.

පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් පසුපස පොලිස් නිලධාරීන් ගොස් එම යතුරු පැදිය අත් අඩංගුවට ගැනීමට උත්සහ කිරීමේදී එම යතුරු පැදිය පෙරළී ගොස් පුද්ගලයෙකු මියයාම නිසා ගම්වාසීන් හා පොලීසිය අතර මෙම ගැටුම හටගත් බව කූමාංකුලම ගමේ වැසියෝ කියා සිටිති.
එහිදී ගම්වාසීන් පොලිස් නිලධාරීන්ට මුගුරුවලින් පහර දී තිබේ.
නමුත් පොලීසිය පවසන්නේ කෝවිලේ උත්සවය තුළ ඇති වූ ගැටුමක් නිරාකරණය කිරීමට පොලීසිය එම ස්ථානයට ගිය අවස්ථාවේදී ගැටුම හටගත් බවයි.
කූමාංකුලමේ මත්පැන් ශාලාවක් අසල තිබී පුද්ගල මළ සිරුරක් හමු වූ බවද පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය වූ වහාම වවුනියාව ජෙයෂ්ඨ පොලිස් අධිකාරී සෝමරත්න විජයමුණි ඇතුලු පොලිස් කණ්ඩායමක් අදාල ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
එම ස්ථානයට වන්නි දිස්ත්‍රික්කයේ දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද රාත්‍රියේම ගොස් ඇති අතර ඔවුන් මේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් වහාම සිදු කරණ ලෙස සියලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.
වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







