රුසියානු රජයේ සමාගමක් විසින් නිෂ්පාදනය කර මෙරටට ප්‍රදානය කරන ලද මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් MOP පොහොර තොගයේ ප්‍රමිතිය සම්බන්ධව අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත්, පොහොරවල ගුණාත්මක බවේ සහ ක්‍රියාකාරිත්වයේ කිසිම වෙනසක් නැති බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
එම පොහොර තොගයේ වර්ණය පිළිබඳව ගොවීන් සහ ගොවි සංවිධාන අතර යම් කතාබහක් නිර්මාණය වී තිබූ අතර ඒ සම්බන්ධව අවධානය යොමු කළ අමාත්‍යාංශය පොහොර තොගයේ සංයුතියේ විශ්ලේෂණ වාර්තාවක් කැඳවා තිබිණි. එම වාර්තාව මත පොහොර තොගය නිසි ප්‍රමිතියෙන් යුතු බව තහවුරු වී ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය පවසයි.
එම පොහොරවල වර්ණය තැන්පතුවේ පවතින ඛනිජ ලවණ මත තීරණය වන බවත්, යකඩ ඔක්සයිඩ් පවතින විට මෙහි වර්ණය රතු පැහැයක් ගන්නා අතර එසේ නොවන අවස්ථාවල සුදු පැහැයක් ගන්නා බවත් පොහොරවල ක්‍රියාකාරිත්වයේ කිසිදු වෙනසක් සිදු නොවී එකම පොටෑසියම් ප්‍රමාණයක් සපයන බවත් පාංශු විද්‍යාව පිළිබඳ විද්‍යාඥ රේණුකා සිල්වා ය විසින් ලබා දී ඇති විශ්ලේෂණ වාර්තාව තහවුරු කරන බවත්ය.
මේ හේතුවෙන් එම පොහොර අනියත බියකින් තොරව භාවිත කළ හැකි යැයි අමාත්‍යාංශය සහතික වෙයි.







