හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප ලබා දෙනවා ද, ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරනවාද යන්න පිළිබඳව තීන්දුව ලබා දීම සඳහා නඩු විභාගය කෙරෙන අධිකරණ ශාලාවේ විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වුනේය.
විදුලිය විසන්ධි වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රනිල් වික්‍රමසිංහ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර නඩුව විමසන අවස්ථාවේ දී නඩුවේ තීන්දුව ලබා දීම පැය භාගයකට කල් තැබීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ නිසාය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුරටත් මෙය සිය අධිකරණ ජීවිතයේ සන්ධිස්ථානයකි. ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරයෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනවාද නැතිනම් ඔහුට සාමාන්‍ය පරිදි ඇප ලබා දෙනවා ද යන්න මේ තීන්දුවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 386, 388 වැරදි හා පොදු දේපලවිෂයෙහි වැරදි පිළිබඳ 5 (1) වගන්ති ප්‍රකාරවය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරමින් මෙම සැකකරුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බව සඳහන් කළේය. දිලීප පීරිස් කරුණු දක්වමින් පැවසුවේ මේ සම්බන්ධව එස්. කරුණාරත්න නම් සිවිල් පුද්ගලයෙක් කළ පැමිණිල්ලක් මත විමර්ශනයක් සිදුකර 33 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති බවත් කරුණු සොයාගෙන යෑමේ දී මෙම සංචාරය සඳහා රුපියල් ලක්ෂ 166ක් වියදම් කර ඇති බවත් එම සංචාරයට අදාලව පැවති ලේඛණ මේ වනවිට වෙනස් වී ඇති බවත්ය.
විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න අධිකරණයේ කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය. ඔහු පෙන්වා දුන්නේ මෙම මුදල් අවභාවිතාව සම්බන්ධව විගණකාධිපතිගේ වාර්තාවේ සදහන්ව නැති බවය.
මේ වනවිට ප්‍රසන්න රණතුංග, මනුෂ නානායක්කාර, නාමල් රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ටිරාන් අලස්, අලි සබ්රි නිමල් සිරිපාද සිල්වා ඇතුළු දේශපාලකයින් පිරිසක් අධිකරණ පරිශ්‍රයේ වෙති.
තීන්දුව ලබා දීමට විනිසුරුවරිය විසින් පැය බාගයක් කල් දම්මේය. අනතුරුව අධිකරණ ශාලාවේ විදුලිය විසන්ධි වුනේය. දැන් විදුලිය විසන්ධි වීම නිවැරදිය. රටම තීන්දුව බලාගෙනය.







