රටේ ප්රමුඛ මැතිවරණයක් සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි අවධානය ඒ සඳහා යොමුවෙද්දි පාතාල ඝාතන රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුවෙමින් තිබේ.
පසුගිය පැය 24 තුළ සිදුකළ සිව්වන වෙඩි තැබීමත් කුරුණෑගලින් වාර්තා විය . කළුබෝවිල, තංගල්ල, මිදිගම සහ කුරුණෑගලින් වාර්තාවන මෙම වෙඩි තැබීම් දාමයෙන් පුද්ගලයින් තිදෙනෙක් ඝාතනය වී ඇත. දෙදෙනෙක් තුවාල ලබා සිටිති.
කළුබෝවිල ඝාතනය
මෝටර් සයිකලකය පැමිණි කුලී ඝාතකයින් දෙදෙනෙක් ඊයේ (18) රාත්‍රියේ 10.45ට පමණ කළුබෝවිල සරණංකර පාරේ හෝටල් හිමිකරුවෙකුව හෝටලය තුළ වෙඩි තබා මරා දැම්මේය.
මෙසේ ඝාතනය කර තිබුණේ දෙහිවල කළුබෝවිල සරණංකර පාරේ පිහිටි ස්ටාර් හෝටලයේ හිමිකරු වූ කළුබෝවිල කඩවත පාරේ පදිංචිකරුවෙක්වූ නායගම් විශ්වනාදන් නැමැත්තෙකි.
යතුරු පැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනාගෙන් අයෙක් හෝටලය තුළට ගොස් හෝටල් හිමිකරුට වෙඩි තබා යතුරුපැදියේ නැගී පාමංකඩ දෙසට පලා ගොස් තිබේ.
ඝාතකයින් පැමිණියේ යැයි සැකකර ඩිස්කවරි වර්ගයේ යතුරුපැදියක් හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය අසල දමා ගොස් තිබිය දී අද අළුයම කොහුවල පොලිසියේ විමර්ශන කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.
වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඝාතනය වූ පුද්ගලයා දැනට විදේශගතව සිටින මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධකරුවෙක් වූ කොම්පඤ්ඤගේ චානක අසංක පොන්සේකා හෙවත් බඩෝවිට අසංකගේ සමීප හිතවතෙක් බවය.
එමෙන්ම මීට දින 04කට පෙර ගල්කිස්ස, බඩෝවිට හතරවන අදියරේ සිය නිවස ඉදිරිපිට දී ඝාතනය වුන තරිඳු මධුෂාන් සුවාරිස් (31) නැමැත්තාගේ නිවසට දිවා ආහාර 450ක් ඊයේ මෙම හෝටල් හිමිකරු විසින් සපයා ඇති බව ද විමර්ශන අංශ හෙළි කරගෙන තිබේ.

තංගල්ල නලගම
එමෙන්ම ඊයේ තංගල්ලේ නලගම ප්‍රදේශයේදී වෙඩිවැදුණු බවට සැක කෙරෙන තුවාල සහිතව මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවී තිබිණි.
පොලීසිය සඳහන් කළේ ඊයේ (18) රාත්රියේදී මෙම පුද්ගල මළසිරුර හමුවී ඇති බවය.
මියගොස් ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙකි.
මිදිගම ගොවියාපාන
මේ අතරතුර අද (19) උදෑසන මිදිගම පොලිස් වසමේ ගොවියාපාන ප්‍රදේශයේ මාළු වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබිණි. එම ඝාතනය සිදුකර තිබුණේත් යතුරුපැදියකින් පැමිණි කුලී ඝාතකයින් දෙදෙනෙකු විසිනි.
වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, 38 හැවිරිදි කැලුම් චතුරංග නැමති මාළු වෙළෙන්ඳෙකි. ඔහු 2022 අගෝස්තු මස 04 දා ගොවියාපාන ප්‍රදේශයේ හෝටලයක් තුළ දී විජේසේකර ගමාච්චිගේ අමිල සඳරුවන් නැමැති අයගේ සොයුරාය.
මෙම පුද්ගල ඝාතනයට සිදුකළ වෙඩි තැබීමේ දී මාළු ලබාගැනීමට පැමිණි 38 හැවිරිදි සහ 72 හැවිරිදි පුද්ගලයින් වෙඩි වැදී තුවාල ලබා මාතර මහරෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
මෙම ඝාතනය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මිදිගම චූටි නැමැත්තා විසින් මෙහෙයවනු ලැබූ අපරාධයක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.මේ සම්බන්ධයෙන් මිදිගම පොලිස් ස්ථානය මඟින් පරික්ෂණ කටයුතු සිදුකරනු ලබයි.
කුරුණෑගල රස්නායකපුර
තවද අද උදෑසන කුරුණෑගල රස්නායකපුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මිය ගියේය.
පොලීසිය පැවසුවේ නාඳුනන වෙඩික්කරුවෙක් විසින් අද (19) උදෑසන එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
පොලිස් වාර්තාවලට අනුව මියගිය පුද්ගලයා අවන්හලක් තුළ සිටියදී වෙඩි තබා ඇත.







