විදේශගතව සිටිනා සංවිධානාත්මක අපරාධ කරුවෙක් වූ රොටඹේ අමිලගේ කොන්ත්‍රාත්තුවක් මත පසුගිය 15වනදා මාතර නාවිමන ප්‍රදේශයේ දී පොලියට මුදල් දෙන පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධව අත් අඩංගුවට ගත් ප්‍රධාන සැක කරුවන් දෙදෙනාගෙන් අයෙක් කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා පාසලක්වන සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ක්‍රීඩා උපදේශකයෙක් ලෙස සේවය කරමින් සිටි අයෙක් බව පොලිස් විමර්ශනවලදී හෙළි දරවු වී තිබේ.
නාවික හමුදා සේවයේ ද නිරතවී සිට ඇති මෙම සැකකරු අවුරුදු 34ක් පමණ වයස මාතර වැලිපිටිය පාරේ පදිංචිකරුවෙකි. මෙම ඝාතන සිද්ධියේ දි ඔහුත් වෙඩික්කරුත් මෝටර් රථයකින් ගොස් අදාල පුද්ගලයාට වෙඩි තබා මෙම ඝාතනය සිදුකර තිබිණි. දැනට විමර්ශනවලින් හෙළි වන්නේ එම මෝටර් රථය පදවා ඇත්තේ මෙම ක්‍රීඩා උපදේශකවරයා බවය.
මෙම ඝාතන සිද්ධියේ වෙඩික්කරු විශේෂ කාර්ය බලකායේ හිටපු කොස්තාපල් කෙනෙකි.
කෙසේ වෙතත් ඝාතනය කළ පුද්ගලයා ඉලක්ක කරගෙන ඇත්තේ ඔහුව ඝාතනය කිරීමට කළ දෙවැනි උත්සාහයේ දී බවත් මුල් වරට උත්සාහ කරද්දී ඔහුව වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණ ඇත්තේ මෙම ක්‍රීඩා උපදේශකවරයා බවත් හෙළි වී ඇත. 15 වැනිදා පාන්දර පිස්තෝලයද රැගෙන මෙම ඝාතනය වූ පුද්ගලයාගේ නිවසට ගොස් ඔහුව නිවසින් එළියට ගෙන ඝාතනය කිරීමට කළ උත්සාහය මෙම ක්‍රීඩා උපදේශකයා අතින් මගහැරී ඇත. ඔහුට කුලී ඝාතකයෙක් සහ වාහනය දී වාහනය පැදවීමේ වගකීම රොටඹේ අමිල විසින් පවරා ඇත්තේ ඉන් අනතුරුවය.
මෙම සැකකරුවන් දෙදෙනා කෑගල්ල ප්‍රදේශයේ සැඟවී සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායමක් විසින් පෙරේදා (22) අත් අඩංගුවට ගෙන තිබිණි. මේ වනවිට ඔවුන් අපරාධය සදහා භාවිතා කළ ගිනි අවියද පොලිස් භාරයට ගෙන තිබේ.
අපරාධය සැලසුම් කළ රොටඹේ අමිලගේ ප්‍රධාන ගෝලයෙක්වන මුතූ නැමැත්තා සිය පවුලේ සාමාජිකයන් ද සමග මැලේසියාවට පලා ගොස් ඇතැයි ද විමර්ශන අංශ පවසයි.







