මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරු ඇතුළු මහවැලි බී කලාපයේ මෙවර යල කන්නයේ වගා කරන ලද වී අස්වනු නෙලීමත් සමග අද (22) වනවිට මහා පරිමාණ සහල් නිශ්පාදකයන් විසින් නිර්මාණය කරන වෙළෙඳපලේ වී මිල සීඝ්රයෙන් ඉහළ ගොස් තිබේ.
අද (22) උදෑසන වනවිට කීරි සම්බා වී කිලෝව මිල රුපියල් 144 කටද, සම්බා වී කිලෝවක මිල රුපියල් 140 කට සහ නාඩු වී කිලෝවක මිල රුපියල් 104 ක මිලකටද පොලොන්නරුවේ පෞද්ගලික මහාපරිමාණ වී මෝල් හිමියන් විසින් මිල දී ගනිමින් සිටිති.
මෙම තත්ත්වයත් සමග තමන් මෙවර යල කන්නයේ නෙලාගන්නා වී අස්වනු වැඩිමිලට පෞද්ගලික වෙළෙඳුන්ට ලබාදීමට තරගකාරිත්වයක් පවතින බවත්, පොළොන්නරුවේ ඇතැම් මහා පරිමාණ වී මෝල් හිමියන් ද ගොවීන්ගෙන් ඉහල මිලකට වී ලබා ගැනීමට විශාල තරගකාරිත්වයක් දක්වන බවත් පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයෝ අප කළ විමසීමක දී පැවසූහ.
ඊයේ (21) වනවිට සම්බා හා නාඩු වී කිලෝවක මිල පහළ බැස තිබුණද, පොළොන්නරුව ඇතුළු මහවැලි බී හා සී කලාපවල යල කන්නයේ වී අස්වනු නෙලීමත් සමඟ අද (22) පෞද්ගලික වී මෝල් හිමියන් වී කිලෝවක මිල මෙලෙස ශීඝ්රයෙන් ඉහළ නන්වා ඇත.
පෞද්ගලික වෙළෙඳපොලේ සීඝ්රයෙන් වී කිලෝවක මිල ඉහළ යෑමත් සමඟ පොලොන්නරුව දිස්ත්රික්කයේ මෙතෙක් වී අලෙවි මණ්ඩලය මගින් කිසිදු ගබඩාවක් විවෘත කර නැත.
වී ගබඩා විවෘත කළද ඊට ගොවින් විසින් වී ලබානොදෙන බවද වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් සඳහන් කරයි,
ගොවීන් පෞද්ගලික වෙළඳුන්ට වී ලබාදෙන පසුබිමක අප වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරු දිස්ත්රික් ප්රාදේශීය කළමනාකරු නිමල් ඒකනායකගෙන් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳ දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ පෞද්ගලික වෙළඳපොලේ වී කිලෝවකට වැඩි මිලක් ගොවියාට ලබාදෙන පසුබිමක වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කිරීම ඵලදායි නොවන ක්රියාවක් බවය.
මෙවර මණ්ඩලය සඳහා වී මිලදී ගැනීමට වෙන්කර ඇත්තේ රුපියල් ලක්ෂ 2500 ක් බවත්, ඉන් පොළොන්නරුවට ලක්ෂ පන්සීයක මුදලක් වෙන් කෙරුව ද මෙතෙක් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක නොකරන්නේ ගොවීන්ට මණ්ඩලයට වී ලබා දීමට වඩා පුද්ගලික වෙළෙඳපලේ විශාල ලාභයක් සහිතව වී අලෙවි කිරීමේ අවස්ථාව සැලසී ඇති නිසා බවත් අලෙවි මණ්ඩලයේ පොළොන්නරු දිස්ත්රික් ප්රාදේශීය කළමනාකරු පැවසුවේය.