ඉන්ධන නැති බව පවසමින් වසා දමා තිබූ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට පැය හයක් තිස්සේ පෝලිමේ සිටි විශාල ජන පරිසක් ඉදිරියේ අත්‍යාවශ්‍ය සේවා සඳහා වෙන් කර ඇතැයි කී ඉන්ධන කෝටාවෙන් විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුගේ කාර් රථයකට ඉන්ධන සපයා දුන් මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් නිසා මිනුවන්ගොඩ ඇතිවන්නට ගිය බරපතල ගැටුම්කාරී තත්ත්වයක් මීට ටික වෙලාවකට පෙර අනූ නවයෙන් වැලකී ගියේය.
අලුයම සිට ඉන්ධන පොලිමේ රැඳී සිටිය ජනතාව ඉදිරියේම ඉන්ධන නැති අඟවා ලනු ඇද තිබූ පිරවුම්හලේ ලනු ඉවත් කරමින් සිවිල් කාර් රථයක් ඇතුළු කර ඉන්ධන ලබා ගත් පොලිසියට එල්ල වූ විරෝධයට පිළිතුරු සැපයීම සඳහා මිනුවන්ගොඩ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙක් අශිෂ්ට පොලිස් පාට් දැමීමට යෑම ගැටුම ඇතිවීමට මූලික හේතුව විය.
![](http://lankasara.com/wp-content/uploads/2022/05/M2.jpg)
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
මිනුවන්ගොඩ නගර මධ්‍යයේ ඇති සමූපකාර ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන නොතිබුණු බව පවසා ලනු ඇද වසා දමා තිබිණි. ඉන්ධන බවුසරයක් අපේක්ෂාවෙන් පාන්දර 04 සිට මිනිස්සු ඉන්ධන පොලිමේ රැඳී සිටියහ.
මේ අතර උදේ 10 ට පමණ මිනුවන්ගොඩ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් සිවිල් වැගන් ආර් රථයකින් පැමිණ ඉන්ධන නැති බව කී ඉන්ධන පිරවුම්හල ප්රවේශයේ ඇඳ තිබූ ලනු ඉවත් රථය ඇතුළට ගෙන ඉන්ධන ලබා ගත්තේය.
පැය හයකට ආසන්න වෙලාවක් පෝලිමේ සිටි ජනතාවට මේ සිදුවීම දරාගත නොහැකි විය. ඔවුහු සිය විරෝධය දැඩි ලෙස ප්‍රකාශ කරද්ද ඉන්ධන ලබා ගැනීමට පැමිණි රථවාහන අංශයේ නිලධාරියෙක් ජනතාවටත් වඩා ආවේගයෙන් හැසිරෙන්නට විය.
![](http://lankasara.com/wp-content/uploads/2022/05/WhatsApp-Image-2022-05-05-at-10.47.03.jpg)
අවසානයේ දි මිනුවන්ගොඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් පැමිණ ජනතාව සංසුන් කරමින් අවේගශීලීව හැසිරුණ පොලිස් නිලධාරියා ද ඉවත් කිරීමට කටයුතු කළේය.
මෙම වැගන් ආර් රථය මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ එක්ක බව කියැවිනි. එහෙත් ස්ථානාධිපතිවරයා කීවේ එම රථය පොලිසියේ විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකුගේ එකක් බවය. පොලිස් නිල ලාංඡනය එහි සඳහන් නොවන්නේ ඒ නිසා බවත් කීවේය.
ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන තිබෙන අවස්ථාවක නැති බව ප්‍රකාශ කරන්නේ කුමක් නිසාදැයි ඉන්ධන පිරවුම්හල් හිමියාගෙන් විමසූ විට ඔහු කීවේ අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන ටිකක් ඉතිරිකර ගැනීම ක්‍රමවේදය බවය.
අවසානයේ දී හෙළි වන්නේ මිනිසුන් සිය ගණනක් පැය ගණන් පෝලිම්වල සිටිය දී අත්‍යාවශ්‍ය සේවා සඳහා ලබා දීමට වෙන් කර තිබූ ඉන්ධන කෝටාවෙන් විශ්‍රාමික පොලිස් ප්‍රධානියෙක් වෙත ඉන්ධන ලබා දීමට යෑම නිසා මේ අවුල්කාරී තත්ත්වය ඇති වී තිබෙන බවය.
මේ වනවිට තත්ත්වය සමථයකට පත්වී ඇත. ඉන්ධන බවුසරයක් පිරවුම්හල වෙත ලඟා වී ඇති බව වාර්තා වේ.