මනම්පිටිය නිමල් ජයරත්න –
159 වන පොලිස් දිනය නිමිත්තෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු පොලිස් විරුවන් සඳහා, ස්වේච්ඡා සංවිධාන එක්ව උපහාර උත්සවයක් පවත්වා ඔවුන්ට සමරු සිහිවටන ප්‍රධානය කිරීමේ උත්සවයක් ඊයේ ( 03) රාත්රියේදී දිඹුලාගල සීලපුර මනම්පිටිය ශ්‍රී සුවිශුද්ධාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී සුවිසුද්දාරාමාධිපති පූජ්‍ය අලුත්වැවේ සේනාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, සුවිශුද්ධාරාම විහාරස්ථදායක සභාව, මනම්පිටිය මහවැලි සමගි අවමංගලධාර සමිතිය, පියස සුභසාධක සමිතිය ,සහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් එක්ව පොලිසිය උදෙසා මෙම උපහාර උළෙල කිරීම විශේෂත්වයකි.
මෙහිදී පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ඇතුළු මනම්පිටිය, අරලගංවිල, වැලිකන්ද, සිරිපුර,අරලගංවල පොලිස් අභ්‍යාස විද්‍යාලය, අරලගංවිල, පොලිස් විශේෂ කාර්ය බළකාය, වැලිකඳ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි කාර්යාලයවල පොලිස් නිලදරුවන් සහ ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් මියගිය පොලිස් විරුවන්ගේ බිරින්දෑවරුන් ඥාති මිත්රාදින්ද විශාල පිරිසකට ගුණ සමරු සිහිවටන පිරිනැමූහ.
මෙහිදී මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ සංගීත ආචාර්ය ලක්ෂිත රත්නවීර සහ සිරිපුර මහා විද්‍යාලයේ සංගීත ආචාර්ය නිසංසලා රත්නවීර යන යුවළ විසින් සුසරනද මනෝවිද්‍යාත්මක ගී රස වින්දන වැඩසටහන්ද සිදුකළහ.
රාත්‍රී 7.00 ආරම්භ වූ මෙම පොලිස් සැමරුම් උළෙල රාත්‍රී 11 දක්වා පැවැති අතර පොලිස් විරුවන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ස්වේච්ඡා සංවිධාන ක්‍රියා කළහ.
මෙහිදී පැමිණ සිටි පිරිස ඇමතූ පොළොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ, සිවිල් ජනතාව හා ස්වේච්ඡා සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කරන ලද පොලිස් උපහාර උළෙලකට තමන් සහභාගි වූ පළමු අවස්ථාව මෙය බවය.
පොලිස් දිනයේදී සාමාන්‍යයෙන් සිදු කරන්නේ පොලිසිය වැඩසටහන් පැවැත්වීම බවත්, මෙවැනි උපහාර උළෙල වැඩසටහන් තුළින් පොලිසියට තවදුරටත් මහජනතාවට සේවය කිරීමට ඉමහත් ශක්තියක් ලැබෙන බවත් ඔහු කීවේය.
මෙම අවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන නියෝජනය කරමින්, සහකාර පොලිස් අධිකාරිවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන්, පොලිස් නිලධාරීන් සහ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිය පරලොව යන්නට යෙදුන පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරුන් මෙන්ම ඥාති මිත්‍රාදීන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.







