නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වු නඩුවට අධිකරණයේ පෙනී සිටීම සඳහා සිතාසි නිකුත් කර තිබියදීත් උසාවියේ පෙනී නොසිටි නාරාහෙන්පිට ආසිරි රෝහලේ අධක්ෂවරුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා ඒ සඳහා වරෙන්තු නිකුත් කළාය.
කොළඹ ආසිරි රෝහලේ අධක්ෂවරුන් වු පමණීන් ඔවුන් නීතීයට උඩින් නොමැති බවත් නීතීය ඉදිරියේ සියලු දෙනා එක හා සමාන බවත් කියමින් පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම සහ සිද්ධියෙන් අතෘප්තියට පත් සනත් කුමාර අතුකෝරල වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රංජිත් හීල්ලගේ කළ ඉල්ලීම් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරිය එලෙස වරෙන්තු නිකුත් කළාය.
නිසි පරිදි සිතාසි බාරදී නොමැති බවට වාර්තා කර ඇති අදාළ ආසිරි රෝහලේ අධක්ෂවරයකු වන විශාල් බාලිට නොවැම්බර් 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් යළිත් වරක් නොතිසි නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය නාරාහෙන්පිට ආසිරි රෝහලේ නියෝජිතවරයාට සහ එහි සේවිකාවක වන බී.ඩී සඳතිසරු ට නොවැම්බර් 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අවවාද කළාය.
නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ආසිරි රෝහලට සහ එහි අධක්‍ෂවරුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය යළිත් වරක් සිතාසි නිකුත් කිරීම ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සමේ අතුරු සහන වශයෙන් ඉල්ලා තිබු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කරන නඩුව අත්හිටුවන්නැයි කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් ප්රතික්ෂෙප කිරීමෙන් අනතුරුව නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියේ කැඳවු අවස්ථාවේදී එලෙස නියම කෙරිණී.
අධිකරණයේ පෙනී නොසිටීම හේතූවෙන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් මෙලෙස වරෙන්තු නිකුත් කරන ලද්දේ ආසිරි රෝහලේ අධක්ෂවරුන්වන අශෝක පතිරගේ, අන්තූර් නාන්ද් තදානි, මංජුල කරුණාරත්න. සුදර්ශන් අහංගම, හැරිස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල් සහ අජිත් කරුණාරත්න නමැත්තන්ටය.
නුගේගොඩ හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෝරාල සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද පැමිණීල්ලකින් අනතුරුව ජාතික ඖධෂ නියාමන අධිකාරියේ ආහාර ඖධෂ පරීක්ෂකවරයා විසින් ආසිරි රෝහලේ අධක්‍ෂවරුන්ට එරෙහිව නඩු පවරා තිබිණී.
ආසිරි රෝහල් අධ්යක්ෂ මණ්ඩලයට චෝදනා 11ක්…
2023 පෙබරවාරී 07 වැනිදාත් 19 වැනිදාත් අතර කාලය තුළ නාරාහේන්පිට ආසිරි රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සමරකෝන් මුදියන්සේලාගේ මන්ත්‍රී කුමාරිහාමිට උපරීම සිල්ලර මිලක් නියම කර ඇති ඖධෂ එම උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල් අයකළ බවට ඖධෂ නියාමන අධිකාරි පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 11ක් යටතේ ජාතික ඖධෂ නියාමන අධිකාරිය විසින් උක්ත නඩුව පවරා තිබිණී.
ජාතික ඖධෂ නියාමන අධිකාරිය මෙම නඩුව පැවරූ පසු ජනවාරී මස 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විත්තිකරුවන්ට නොතිසි නිකුත් කර තිබියදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය රාජකාරි නිවාඩු ගත් ජනවාරී මස 17 වැනිදා මෝසමක් මාර්ගයෙන් වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක හමුවට අදාළ සමාගමේ බලයලත් නියෝජිතවරයකු වශයෙන් කැලුම් ගිමේන්ත්‍ර ජයසුරිය නමැත්තා ඉදිරිපත් වී අදාළ චෝදනාවන්ට වරද පිළිගැනමෙන් පසු ඔහුට රුපියල් 25000/-ක දඩයක් නියම කොට තිබු අතර දඩ මුදල නොගෙවුවහොත් මාස 06ක සිරදඬුමකට ඔහු යටත් කෙරිණී.
නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් ආසිරි රෝහලට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා ඇති තිබු නඩුවේදී මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගත බවට අගතියට පත් සනත් කුමාර අතුකෝරල කළ පැමිණල්ලකට අනුව වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගතද? නැද්ද? යන්න පිළිබඳ සෙවීම සඳහා නඩුව යළි විවෘත කෙරිනි.
එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මාලිගාකන්ද හිටපු මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ ය මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගත බවට තීරණය කරමින් අදාළ පෞද්ගලික රෝහලට සහ එහි අධ්‍යක්ෂවරුන්ට අද (25) දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කර තිබිණී.
ආසිරි රොහලෙන් මහාධිකරණයට ප්රතිශෝධන පෙත්සමක්
ඒ අතරතුර මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ආසිරි රෝහල සහ එහි අධ්යක්ෂවරුන් අධිකරණයට කැඳවමින් සිතාසි නිකුත් කරමින් දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා පෞද්ගලික රෝහල සහ එහි අධක්ෂවරුන් වන අශෝක පතිරගේ, මංජුල කරුණාරත්න, හර්ෂ කුමාර කයිමාල් සහ අදාළ රෝහලේ සහකාර කළමණාකාරියක වන බී.ඩී. සඳතිසරු පෙත්සමක් ඉදිරිපත් කළ අතර එම පෙත්සම සළකා බැලු කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න පෙත්සම් විභාගය ලබන වසරේ ජනවාරී 19 වැනිදාට කල් තැබීය.
පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා සහ ප්‍රති විරෝධතා ඇත්නම් නොවැම්බර් 27 වැනිදාට පෙර ගොනු කිරීමට දෙපාර්ශවයටම නියම කළ විනිසුරුවරයා පෙත්සමේ අතුරු සහනයක් ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කරන නඩුව අත්හිටුවන්නැයි කළ ඉල්ලීමට අවසරදීම ප්රතික්ෂෙප කළේය.
ඒ අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා හමුවේ නඩුව කැඳවු අතර නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින ආසිරි රෝහල වෙනුවෙන් නියෝජිතවරයකු සහ අදාළ රෝහලේ සහකාර කළමණාකාරියක වන බී.ඩී සඳතිසරු පමණක් අධිකරණයේ පෙනී සිටි අතර අනෙකුත් කිසිඳු අධක්ෂවරයකු උසාවියේ පෙනී සිටියේ නැත.
ආසිරි රෝහල සහ එහි අධක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජීවන්ත ජයතිලක කරුණු දක්වමින් මෙම නඩුවට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කළ ප්රතිශෝධන පෙත්සමේ අතුරු සහනයක් වශයෙන් ඉල්ලු මෙම නඩුවේ කටයුතු අත්හිටුවීමේ නියෝගයට අවසර දෙනු ඇතැයි විශ්වාස කළ හෙයින් තම සේවාදායකයින් උසාවියට නොපැමිණීයේ යැයි කීය.
එහෙයින තම සේවාදායකයිට එරෙහිව වරෙන්තු නිකුත් නොකරන්නැයි ඉල්ලා සිටි නීතීඥ ජීවන්ත ජයතිලක රෝහලේ අධ්යක්ෂවරු වශයෙන් ඉන්දියානු ජාතිකයින්ද සිටින හෙයින් කොටි දිනයක් තුළ ඔවුන් මෙම උසාවියට ගෙන ඒමට හැකියාව ඇති හෙයින් ඒ සඳහා අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
නීතියට උඩින් ආසිරි රෝහලේ අධ්යක්ෂවරු නෑ…
පැමිණීල්ල වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂක මහින්ද සිරිකුමාර සමඟ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව විත්තිකරුවන්ට අවස්ථා කිහිපයකදීම සිතාසි නිකුත් කර තිබු නමුත් ඔවුන් කිසිදු අවස්ථාවක උසාවියට පැමිණ නැතැයිද නීතීයට උඩින් කිසිවකුත් නොමැති හෙයින් ඔවුන්ට එරෙහිව වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලා සිටියාය.
සිද්ධියෙන් අතෘප්තියට පත් සනත් කුමාර අතුකෝරල වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රංජිත් හීල්ලගේ කරුණු දක්වමින් පැරසිටමෝල් පෙත්තේ ඇස්ප්‍රීන් පෙත්තේ සිට සියළුම ඖෂධ සඳහා සීයයට තුන්සීසකට වඩා වැඩි මිලක් අයකර ඇති අදාළ පෞද්ගලික රෝහලේ අධ්යක්ෂවරු වුවත් උසාවියට ගෞරව කිරීමට උගත යුතු යැයි කීය.
තමන්ට වු අසාධාරණයට යුක්තිය ඉෂ්ඨ කරවා ගැනීම සඳහා විශාල වෙහෙසක් කැපවීමක් කළ තම සේවාදායකා මේ තරම් මහන්සි වන්නේ සටන් කරන්නේ තමන්ට කිසිදු ලාභයක් අපේක්ෂාවෙන් නොවන බවත් සමස්ථ රට වැසියාටම යුක්තියක් සාධාරණයක් අපේක්ෂාවෙන් බවත් කී නීතීඥ රංජිත් හීල්ලගේ අධිකරණයේ පෙනී නොසිටින විත්තිකරුවන් වෙනුවෙන් ඉහළම පියවර ගන්නැයි ඉල්ලා සිටියේය.
සියළු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අධිකරණයේ පෙනී නොසිටි ආසිරි රෝහලේ අධක්ෂවරුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය නඩුව නොවැම්බර් 12 වැනිදා යළි කැඳවීමටද නියම කළාය.
පෙත්සම්කාර ආසිරි රෝහල සහ එහි අධ්යක්ෂවරු වෙනුවෙන් නීතීඥ ජීවන්ත ජයතිලක” නිලංක පොල්ගම්පොළ සහ රලිත අමරසේන සමඟ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.
පැමිණීල්ල වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂක මහින්ද සිරිකුමාර සමඟ නීතීපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥ නිමේෂා ද අල්විස් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම පෙනී සිටියාය.
සිද්ධියෙන් අතෘප්තියට පත් සනත් කුමාර අතුකෝරල වෙනුවෙන් නීතීඥවරුන්වන උදාර විජේසිංහ ප්‍රදීප් ගුණතිලක සහ රන්දුණු හීල්ලගේ සමඟ නීතීඥ රංජිත් හීල්ලගේ පෙනී සිටියේය.







