මනම්පිටිය නිමල් ජයරත්න –
හිටපු පරිසර අමාත්‍යවරයෙකු වු මහින්ද අමරවීරගේ දේශපාලන හිතවතුන්ට මනම්පිටිය වැලි කැණීම් ව්‍යාපෘතියට සම්බන්ධ වැලි මංකඩ 26 අනීතිකව ලබාදිමට පිඹුරුපත් සකසා වැඩ තහනමට ලක්ව සිටි මනම්පිටිය වැලි සමාගමේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයෙකු ජනාධිපතිවරයා පත් වී දෙසතියක් යෑමටත් පෙර යළිත් සේවයේ යොදවා ඇතැයි මනම්පිටිය වැලි කැණීම් ව්‍යාපෘතියේ තාක්ෂණ නිලධාරියෙකු අනාවරණය කළේය.
පරිසර අමාත්‍යාංශය යටතේ ඇති රජය සතු සමාගමක් යටතේ ක්‍රියාත්මක වන මනම්පිටිය වැලි කැණීම් ව්‍යාපෘතියේ දෙවන අදියර තුළින් මෙම වැලිමංකඩ එම දේශපාලන හිතවතුන්ට අනීතිකව ලබාදීමට කටයුතු යොදා තිබූ අතර එම වැලි මංකඩ විසිහයෙහි වාර්ෂික ප්‍රසම්පාදන වටිනාකම රුපියල් මිලියන 240 ක් බවත්, එම තාක්ෂණ නිලධාරිවරයා සඳහන් කළේය.
පරිසර අමාත්‍යාංශය යටතේ ඇති භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අනුබද්ධ ටෙක්නිකල් සර්විසස් සමාගමේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයෙකු විසින් මනම්පිටිය ව්‍යාපෘතියේ තාක්ෂණ නිලධාරියෙකුද සම්බන්ධ කර ගනිමින් මෙම වැලි මංකඩ ඉතා හොර රහසේ අදාළ හිටපු ඇමැතිවරයාගේ දේශපාලන හිතවතුන්ට ලබාදීමට කටයුතු සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වූ නිසාම මෙම නිලධාරියා රැකියාවෙන් ඉවත් කර ඇත.
අදාළ සමාගමේ භූ විද්‍යා අංශයේ ප්‍රධානියෙක් ලෙස මොහු කටයුතු කර ඇති අතර එම කාලය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම වැලි ව්‍යාපෘති භාරව සිට ඇත්තේද අදාළ භූ විද්‍යාඥයාය. , ඒ කාලය තුළ එම ව්‍යාපෘති හරහා දූෂණ අක්‍රමිකතා රැසක් සිදුකර ඇති බවට අභ්‍යන්තර විගණන පරීක්ෂණවලින් අනාවරණය වි ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.
එම කාලය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ රජය සතුව වැලි කැණීම් ව්‍යාපෘති වැලිකන්ද, නිදන්වල, අරලගංවිල, බෝ අත්ත යන ප්‍රදේශවල මාදුරුඔය ආශ්‍රිතව හතරක් පැවති බවත් එම ව්‍යාපෘති වසා දමා ඒවා පෞද්ගලික බලපත්‍ර ලෙස අදාළ හිටපු ඇමතිවරයාගේ දේශපාලන හිතවතුන්ට ලබාදීමට කටයුතු කළ බවත් ඊට සැලකිල්ලක් ලෙස ඇමැතිවරයා ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී තනතුර ලබාදුන් බවත් තාක්ෂණ නිලධාරීවරයා සඳහන් කළේය.
එමෙන්ම අදාළ භූ විද්‍යාඥා විසින් හිටපු ඇමැතිවරයාගේ හිතවතෙකු සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ අඹතලේ ප්‍රදේශයේ වැලි විකිණුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ඉඩ ප්‍රස්ථාව සකසා දී ඇති අතර එම වැලි විකිණුම් මධ්‍යස්ථානය හරහා රජයට අයවිය යුතු බදු මුදල් විශාල ප්‍රමාණයක් වංචා කර ඇති බවට තොරතුරු අනාවරණය කර ඇති බවත් සඳහන්ය.
එමෙන්ම තමා යටතේ ඇති භූ විද්‍යා අංශය මගින් සිදුකරන ප්‍රධාන කාර්යය ලෙස ව්‍යාපෘති වාර්තා සැකසිම සිදු වී ඇති අතර ඒ සඳහා යොදා ගත් උපදේශකවරුන් ලෙස නම් කරමින් තම බිරිඳ සහ මිතුරන්ගේ නම් යොදා රුපියල් මිලියන ගණන් මුදල් භූ විද්‍යාඥයා විසින් වංචා කර ඇති බවටත්, එම දූෂණ අක්‍රමිකතා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කර ඇති බවටත්, සඳහන් කරන අදාළ නිලධාරියා කිසිදු විධිමත් විමර්ශනයකින් තොරව අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් අඳුරේ අතපත ගා ලබාදුන් වාර්තාවක් මගින් හොර රහසේ යළිත් සේවයට බඳවා ගැනීම පිළිබඳව අදාළ නිලධාරීන්ට එරෙහිවද පූර්ණ විමර්ශනයක් සිදුකළ යුතු බව එම තාක්ෂණ නිලධාරිවරයා අවධාරණය කළේය.
එම භූ විද්‍යාඥයා සමග මෙම දුෂණ අක්‍රමිකතා සිදුකළ පරෙයිපඤ්ඤං ව්‍යාපෘතියේ ස්ථානභාර නිලධාරී ලෙස කටයුතු කොට සේවයෙන් ඉවත් කළ තාක්ෂණ නිලධාරිවරයාද මේ වනවිට යළිත් සේවයේ පිහිටුවා තිබීම යන සිදුවීම් දෙස බැලීමේදී රාජ්‍ය සේවය වළපල්ලට යාම නොවැළැක්විය හැකි දෙයක් බවත්, නව ජනාධිපතිතුමන්ගේ සහ රජයේ ප්‍රතිපත්තින් අනුව විධිමත් විමර්ශන පවත්වා මෙම දූෂිතයින්ට එරෙහිව පියවර ගෙන රාජ්‍ය සේවය සුරක්ෂිත කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් අදාළ නිලධාරියා සඳහන් කළේය.
මේ සම්බන්ධව භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ඉදිරියේදී ජනාධිපතිවරයා මෙන්ම අභිනව පත් වූ පරිසර අමාත්‍යවරයාවත් ලිඛිතව දැනුවත් කිරීමට පියවර ගන්නා බවද තාක්ෂණ නිලධාරියා අවධාරණය කළේය.







