ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අම්මා මේ වනවිට රෝගීවය. අම්මා අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නීය.
ඒ අම්මා අපූරුය. රෝහලට ඇතුළත් වෙන්නට ගිය අවස්ථාවේ තමන් රටේ 09 වැනි විධායක ජානාධිපති තුමාගේ අම්මා බව රෝහල් බලධාරීන්ට කියන්නට ඒ අම්මා කට ඉස්සර කගෙත්තේ නැත. ක්ලින්ක් එකට ආවිට බෙහෙත් දෙන්නේත්, සම්මත ක්‍රියාපටිපාටියට අනුව රෝහලට ඇතුළත් කරගන්නේත් ජනාධිපති තුමාගේ අම්මා බව ඔවුන් දන්නේත් පසුවය.
අම්මාව බලන්න ජනාධිපති අනුර කුමාර දිසානායක අනුරාධපුර ශික්ෂණ රෝහලට ඊයේ (20) ගියේය. ඔහු එනතුරු කිසිවෙක් ඔහු එන බව දන්නේ නැත. ඒ සම්බන්ධව කිසිම දැනුම්වත් කිරීමක් කළේත් නැත. තමන්ගේ අම්මා ආණ්ඩුවේ ඉස්පිරිතාලයක ප්‍රතිකාර ගන්නට සලස්වා ඇයව දකින්නට අප්රසිද්ධියේ එන් ජනාධිපති පුතෙක්… එය අපට කවදාවත් හිතා ගන්නට බැරි අත් දැකීමකි.
මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් මුණ ගැසෙන්නට නුවරට ගොස් එන ගමන් ජනාධිපතිවරයා අම්මා බලන්නට අනුරාධපුරයට ශික්ෂණ රෝහලට ගොස් තිබිණි. අම්මා කෙනෙක් බලන්න එන සාමාන්‍ය පුතෙක් ලෙස පැමිණි ඔහුගේ ගමනේ පුංචි වෙනසක් තිබුණා නම් ඒ ඔහු අම්මා බලන්න එන විට රෝගීන් බලන වෙලාව පහු වී තිබීමය.
මේ අම්මාගේ සහ පුතාගේ හමුව අහම්බෙන් රෝහල් සේවකයෙකුගේ දුරකථනයේ සටහන් වී තිබුණේය. මේ ඒ ඡායාරූපය ය. තමන්ගේ රටේ වෛද්‍ය වරුන්, තමන්ගේ රටේ සුව සේවකයින්, තමන්ගේ රටේ සෞඛ්‍ය පද්ධතිය ගැන රටේ ජනාධිපතිවරයාට ඇති විශ්වාසය සහ තහවුරුව අපට ලබා දෙන්නේ ගැඹුරු පණිවිඩයකි.
ඉන්දීය මුදල් ඇමති නිර්මලා සීතාරාමන් විශේෂ රාජකාරි ගමනකට ගොස් එන අතර තමන්ගේ තාත්තා දකින්නට ඇයගේ මහ ගෙදරට ගිය මොහොත සම්බන්ධ වීඩියෝවක් පසුගිය වකවානුවේ සමාජ මාධ්‍යවල වයිරල් වුනේය. අඳුරු තෙත් සහිත පෙනුමක් ඇති පැරණි ඉන්දිය නිවසේ සිටි වියපත් මිනිසා සහ ඥාති සමූහය සහ ඔවුන්ගේ අව්‍යාජ ස්වරූපය දකින මොහොතේ අප ප්‍රාර්ථනා කළේ අව්‍යාජ මිනිසුන් සහිත පොහොසත් දේශපාලනයකි. මෝදි සිය අම්මාගේ නිවසේ ගත කරන සුළු මොහොත දකින අවස්ථාවේ අප කල්පනා කළේ පිරුණු මිනිසුන් සහිත දේශපාලනයක් අපට නොලැබෙනු ඇති බවය.
ඊට නොබෝ කලකට පසු මේ රට නිවැරදිම මිනිසෙක් තෝරාගෙන ඇති බව සිතේ. මේ ඡායාරූපය කියන්නේ එයය. මේ මුහුණු දෙස බලන්න. අහිංසක ගැමියෙන්ගේ නිර්ව්‍යාජ හැඟීම් එහි ගැබ්වී ඇති බව ඔබට දැනෙනු ඇත. මේ මිනිසාගේ වටේ සිටින උද්ච්ඡ හිපාටුවන් පිස්සු නොකෙළියහොත් ඔහු මේ රට ගොඩ දමනු ඇත.
රත්තරන් අම්මේ…. තුනුරුවන් සරණයි. ඉක්මනින් සුව වෙන්න.







