-
රාජ්‍ය සේවයේ පරිවර්තනය සඳහා ඉවසීමෙන් සංයමයෙන් කරන ආරාධනාව නොතකන්නේ නම් රජය ඊලඟ පියවරට යනවා… ඇමති ලාල් කාන්ත කියයි!
රට කඩා වැටීම සම්බන්ධව චෝදනා ලද එක් පාර්ශවයක් දේශපාලනය බවත් අනෙක් පාර්ශවය රාජ්‍ය සේවය බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති ලාල් කාන්ත පැවසුවේය. ඔහු කීවේ දේශපාලන පරිවර්තනය සියල්ලන්ගේම සහභාගීත්වයෙන් මේ වනවිට සිදුවී ඇති නමුත් රාජ්‍ය සේවයේ පරිවර්තනය සඳහා කිසිවක් සිදුවී නැති බවය.
ඇමතිවරයා මේ බව කීවේ අද කොළඹ දී ජාතික වෘත්තීය සමිති ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් අමතමිනි.
ඉවසීමෙන් සංයමයෙන්, වෙනසට ආරාධනා කරන බවත් ඒ වෙනස සඳහා රාජ්‍ය සේවයේ සියයට 80ක් දෙනා කැමැත්ත ප්‍රකාශ කළ බවත් ඇමතිවරයා පැවසුවේය. මේ ජනවරම සියයට 80ක් වූ රාජ්යසේවකයින්ගේ මැදිහත්වීමෙන් ලද එකක් බව ද ඔහු අවධාරණය කළේය.
එවැනි අනුමැතියක් සහිතව සිදුකරන රාජ්‍ය සේවයේ පරිවර්තන ක්‍රියාවලිය සඳහා සංයමයෙන් කරන ආරාධනාවන් දුර්වල කමක් සේ සලකන්නේ නම් ඊලඟ පියවරට රජයක් ලෙස ගමන් කිරීමට පසුබට නොවන බවත් කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත රටට අවධාරණය කළේය.
“අපේ රට මුලුමනින්ම කඩා වැටුනා කියන එක අප දන්නවා. ජනතාවට ඒකෙන් චෝදනාව තියෙන්නේ ක්ෂේත්‍ර දෙකකට. එක දේශපාලන ක්ෂේත්රයට. දේශපාලනඥයො තමයි මේ රට විනාශ කළේ කියන චෝදනාව තියනවා. ඒක ඇත්ත.
දෙවන චෝදනාව ජනතාවගෙන් එන්නේ මේ රටේ රාජ්‍ය සේවකයින්ට. මේ රටේ රාජ්‍ය සේවය තමයි මේ රට විනාශ කරන්න මැදිහත් වෙච්ච දෙවැනි කණ්ඩායම. දැනුත් ඒක කියනවා. ඒ අදහස තියනවා.
ඉතින් සහෝදර සහෝදරියෝ, අපි ඔක්කොම ලංකාවේ ප්රගතිශීලී ජනතාව එකතුවෙලා පලවෙනි කාරණය වෙනස් කළා. දේශපාලන සංස්කෘතිය දේශපාලනයට තිබ්බ චෝදනාව අපි වෙනස් කරගත්තා.
දැන් අපි ඉස්සරහා තියනවා මේ රාජ්‍ය සේවය මේ අලුත් පරිවර්තනයට අනුව පෙළ ගස්වා ගැනීම. පළවෙනි ප්රශ්නය අපි විසඳගෙන ඉවරයි. යහපත් දේශපාලනයක් ඇති කරගැනීම කියන කාරණය අපි සම්පූර්ණ කරන්න ඉන්නවා.
හැබැයි දෙවැනි කාරණය. එහෙම්මමයි කියන වචනය මං කියන්නම්. රාජ්‍ය සේවය තවම පරණ එකමයි.
නමුත් සියයට 80ක් රාජ්‍ය සේවකයො වෙනස ඉල්ලලා අපට ඡන්ද දීලා තියනවා. සියයට 80ක් තැපැල් ඡන්ද දිහා බැලුවොත් තුනෙන් දෙකකට වඩා මන්ත්‍රී ආසන ප්‍රමාණයක් ලබා දීමේදී රාජ්‍ය අංශය විශාල කොටසක් කළා.
තැපැල් ඡන්ද දිහා බැලුවම අති විශාල රාජ්‍ය සේවකයො ප්‍රමාණයක් පරිවර්තනයක් ඉල්ලුවා. ඒක ඇතුළෙත් හැබැයි අතලොස්සක් ඉන්නවා විවිධ මට්ටමේ යම් ප්‍රමාණයක්… සහයෝගය දුන්නේත් නෑ. පරාද කරන්න වැඩ කළ අයත් ඉන්නවා. නරක දේශපාලනය එක්ක සම්බන්ධ වෙලා නරක වැඩ කරපු අය ඉන්නවා. ඒ අය ඡන්දයට කලිනුත් මේ පරිවර්තනයට කැමති වුනේ නෑ.
සමහරවිට දැනුත් එහෙම ඇති.
ඉතින් අපට දැන් මේ රට ගොඩනැගීමේ අභියෝගයෙ තිබෙන දෙවැනි කාරණය. අපි කොහොමද මේ රාජ්‍ය සේවය පරණ සංස්කෘතියෙන් වෙනස් කරගෙන ජනතාවගේ නව ඕනෑකමක් එක්ක ක්‍රියාවට නගන්නේ. ඒක තමයි අපි ඉස්සරහා තියන ප්‍රධාන අභියෝගය අද.
තාම සියල්ල වෙනස් කරලා නෙමෙයි. හැබැයි දැන් අපි රාජ්‍ය සේවය වෙනස් කරගත යුතුයි. එය ජාතික වෘත්තීය සමිති ව්‍යාපාරයේ සහෝදරියන්ගෙන් විය යුතුයි.
එකෙදි ඉල්ලීම මේකයි. ඉවසීමෙන් සංයමයෙන් පරිණතව අපි මේ රාජ්‍ය සේවය ජනවරමට අනුව වැඩ කරන රාජ්‍ය සේවයක් බවට පෙරළා ගත යුතුයි. වේගවත්ව කාර්යශූරව එම පරිවර්තනය විය යුතුයි.
රාජ්‍ය සේවය දීර්ඝ කාලයක් හැදිලා තියෙන්නේ මේ ජනවරමට ඕන කරන සංස්කෘයට අනුව නෙමෙයි. කලින් තිබුණ දේශපාලන සංස්කෘතියත් එක්ක යන්න තමයි හැදිලා තියෙන්නේ. නමුත් අවධාරණය කරගත යුතුයි. කලින් කිව්ව විදිහට සියයට අසූවක රාජ්‍ය සේවක කැමැත්තක් සහයෝගයක් මේ පරිවර්තනය වෙනුවෙන් දීලා තියනවා.
අපි මෙතෙක් කල් කටයුතු කළ අත්දැකීම තියෙන්නේ විපක්ෂ වෘත්තීය සමිති ව්‍යාපාරයක් විදිහට. නමුත් එය දැන් සංයමයෙන් වගකීමෙන් සටන්කාමීව කටයුතු කරන ආණ්ඩුකරන වෘත්තීය සමිති ව්‍යාපාරයක් විදිහට පරිවර්තනයකට ලක් විය යුතුයි. අපිත් ආණ්ඩුකරන වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස මුලුමනින්ම පෙරළිය යුතුයි. කැපවීමෙන්, ඉවසීමෙන් සියලු දෙනා එක් කරගනිමින් වෙනස් වෙන්න යම් ඉඩක් දෙමින් ආරාධනා කරමින් අපි ඒ ගමන යා යුතුයි.
ඒක අපේ දුර්වලකමක් කියලා හිතනවා නම් අපි ඒ අදහස ඉක්මනින් අවසන් කරනවා. මේ ඉවසීම් සහගත සංයමයක් සහිත කරන ආරාධනය අනුව වේගයෙන් පරිවර්තනය වෙන්නේ නැතිනම් ඊලඟ ක්‍රියාමාර්ග ගන්න වෙනවා.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති ලාල් කාන්ත පැවසුවේය. එම අවස්ථාව LIFETRAVELER යූ ටියුබ් චැනලය මෙසේ ආවරණය කර තිබිණි.







