ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පසුගියදා ප්‍රසිද්ධ කළ වාර්තාව සකස් කිරීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳ වගකියන කිසිඳු ආයතනයකින් හෝ අංශයකින් විමසීමක් සිදුකර නොමැති බව අද (13) පැවති ආරක්ෂක කවුන්සිලයේදී අනාවරණය වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ නොකරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
ඔහු පැවසුවේ ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු ලාභය පදනම් කරගත් පෞද්ගලික ආයතන වෙත නිරාවරණය වන බවට ඒ සම්බන්ධයෙන් සිදු කළ වාර්තාවෙන් හෙළි කර ඇති බවය.
කෙසේ වෙතත් මෙම වාර්තාව කිසිම විද්‍යාත්මක පදනමකින් තොර ලියැවිල්ලක් බවත්, රජය ව්‍යාපාර කටයුතුවලට මැදිහත් නොවී සිටීම රජයේ ස්ථාවරය බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.







