-
2030 වනවිට ජර්මනියත් අභිබවා යනවා… ඒ වෙනකොට ලෝකයේ විශාලම 03 වැනි ආර්ථිකය ඉන්දියාව… ඉන්දීය රජය කියයි
ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්ව ඇති බව ඉන්දීය රජය ඊයේ (30) නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඩොලර් ට්‍රිලියන 4.18 ක විශාලත්වයකින් යුක්ත වන ඉන්දියාවේ ආර්ථිකය 2030 වන විට ජර්මනිය අභිබවා තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වීමට සූදානම් බව ද ඉන්දීය රජය ප්‍රකාශ කර තිබේ.
අඛණ්ඩ ඉහළ වර්ධන සංඛ්‍යා සමඟ, ඉන්දියාව ලොව වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය වන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඉන්දියාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය 2025-26 දෙවන කාර්තුවේදී 8.2% කින් වර්ධනය වූ අතර එය පළමු කාර්තුවේදී 7.8% ක් සහ පසුගිය මූල්‍ය වර්ෂයේ සිව්වන කාර්තුවේදී 7.4% ක් විය.
“ ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 4.18 ක්. ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්ව තිබෙනවා. ඉදිරි වසර දෙක හමාරේ සිට තුන දක්වා කාලය තුළ එනම් 2030 වන විට ඩොලර් ට්‍රිලියන 7.3 ක ප්‍රක්ෂේපිත දළ දේශීය නිෂ්පාදිතයක් සමඟින් දැනට ලෝකයේ තුන්වන ආර්ථිකය හිමි ජර්මනිය අභිබවා යාමට ඉන්දියාව සූදානමින් සිටිනවා” ඉන්දීය රජය 2025 දී ප්‍රතිසංස්කරණ පිළිබඳ කෙටි විස්තරයක් සපයන ප්‍රකාශයක් උපුටා දක්වමින් හින්දු පුවත්පත වාර්තා කර තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ විශාලතම ආර්ථිකය වන අතර චීනය දෙවන ස්ථානය හිමිකර ගනී.
2025-26 දෙවන කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය කාර්තු හයක ඉහළම අගයක් දක්වා වර්ධනය වෙමින් අඛණ්ඩ ගෝලීය වෙළඳ අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ ඉන්දියාවේ ඔරොත්තු දීමේ හැකියාව පිළිබිඹු කර තිබීම මේ වනවිට ලෝකය මවිත කර තිබේ.
ජාත්‍යන්තර ආයතන මෙම ශුභවාදී බව ප්‍රතිරාවය කර තිබේ. ලෝක බැංකුව ඉන්දියාව විෂයෙහි 2026 දී 6.5% ක වර්ධනයක් පුරෝකථනය කර ඇත. 2026 දී 6.4% ක සහ 2027 දී 6.5% ක වර්ධනයක් සමඟ ඉන්දියාව වේගයෙන්ම වර්ධනය වන G20 ආර්ථිකය ලෙස පවතිනු ඇතැයි මූඩීස් අපේක්ෂා කරයි. ඉන්දියාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2025 සඳහා 6.6% ක් සහ 2026 සඳහා 6.2% ක් දක්වා වූ ආර්ථික වර්ධනයක් දක්වමින් සිය ප්‍රක්ෂේපණ ඉහළ නංවා තිබේ. ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය 2025 දී 6.7% ක් සහ 2026 දී 6.2% ක් ලෙස සිය ප්‍රක්ෂේපණ ඉහළ නංවා ඇත. එසේම, S&P වත්මන් මූල්‍ය වර්ෂයේදී 6.5% ක සහ ඊළඟ මූල්‍ය වර්ෂයේදී 6.7% ක වර්ධනයක් අපේක්ෂා කරන අතර, ආසියානු සංවර්ධන බැංකුව 2025 සඳහා එහි පුරෝකථනය 7.2% දක්වා ඉහළ නංවා තිබේ. ශක්තිමත් පාරිභෝගික ඉල්ලුම මත ෆිච් රේටින්ස් ආයතනය 2026 සඳහා එහි ප්‍රක්ෂේපණය 7.4% දක්වා ඉහළ නංවා ඇත.
“ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකයන් අතර ඉන්දියාව සිටින අතර මෙම ගම්‍යතාවය පවත්වා ගැනීමට හොඳින් ස්ථානගත වී සිටිනවා. නිදහසේ ශත සංවත්සරය වන 2047 වන විට ඉහළ මධ්‍යම ආදායම් තත්ත්වය අත්කර ගැනීමේ අභිලාෂය ඇතිව, රට ආර්ථික වර්ධනය, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ සමාජ ප්‍රගතිය පිළිබඳ ශක්තිමත් පදනම් මත ගොඩනැගෙමින් තිබෙනවා.,” රජය උපුටා දක්වමින් හින්දු පුවත්පත පෙන්වා දේ.
උද්ධමනය පහළ දරාගැනීමේ සීමාවට වඩා පහළින් පවතින බවත්, විරැකියාව පහත වැටෙමින් පවතින බවත්, අපනයන කාර්ය සාධනය අඛණ්ඩව වැඩිදියුණු වන බවත් ඉන්දියානු රජයේ නිවේදනයේ අවධාරණය කර ඇත. (The Hindu)







