දිනසේන රතුගමගේ –
මෙවර මහ මැතිවරණයට මුලතිව් දිස්ත්රිකයෙන් තරග වදින අපේක්ෂකයින් දෙදෙනෙකු වෙණුවෙන් පෝස්ටර් අලවමින් සිටි මුලතිව් ඔට්ටිසුඩාන් ප්රදේශයේ පුද්ගලයෙකු විදුලි සැර වැදීම හේතුවෙන් 26 දා මියගොස් තිබේ .
මුලතිව් විනයාගපුරම් ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කසලිංගම් තංගදීපන් නැමති මොහු දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයින් දෙදෙනෙකුට සහයෝගය ලබා දීම සඳහා ගමක පෝස්ටර් අලවමින් සිටියදී එම ගම්මානයේ නිව්සක සිට කම්බි වැටට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී මියගොස් තිබේ.
නිවෙස් හිමියා විසින් නිවසේ සිට ගේට්ටුව දෙසට විදුලි රැහැනක් ඇද ගේට්ටුව ඉදිරිපිට විදුලි බුබුලක් දැල්වීමට කටයුතු කොට තිබී ඇති අතර වර්ෂාව නිසා අනාරක්ෂිත ලෙස ඇද තිබූ එම වයරය ඔස්සේ විදුලිය කාන්දු වී තිබීම නිසා පෝස්ටර් අලවමින් සිටි තැනැත්තාට විදුලි සැර වැදී තිබේ.
විදුලි සැර වැදුණු පුද්ගලයා මුලතිව් රෝහලට ඇතුළත් කොට ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත.
ඔට්ටිසුඩාන් පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







