සූරියවැව – නුවන් ජයසේකර –
අද (07) සවස කුලී වෙඩික්කරුවන් දෙදෙනෙක් විසින් බස් රථයක ගමන්කරමින් සිටි කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදු කර තිබේ.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අම්බලන්තොට සිට කොග්ගල්ල දක්වා ගමන් කරමින් තිබූ ලංගම බස් රථයක් නවතා එහි මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ අම්බලන්තොට,කොග්ගල්ල,කඩවර පදිංචි එන්.ඒ.එච්.ලසන්තා රෝහිණී නැමති 48 හැවිරිදි තිදරු මවකටය.
අම්බලන්තොට සිට කොග්ගල්ල දක්වා බස් රථය මගීන් රැගෙන ගමන් කරමින් සිටියදී අම්බලන්තොට මදයමලලන්ද ප්‍රදේශයේදී බස් රථයේ පිටු පසින් පැමිණ ඇති යතුරු පැදියක් බස් රථය හරස් කර නවතා යතුරුපැදියේ පසුපසින් පැමිණි පුද්ගලයා බස් රථයට ගොඩ වී එහි සිටි මෙම කාන්තාවට වෙඩි තබා පළාගොස් තිබේ.
අදාල කාන්තාවගේ දකුණු උරහිස ප්‍රදේශයට වෙඩි වැදීම සිදුව තිබු අතර ඉන් තුවාල ලැබූ කාන්තාව බැරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත.
වෙඩි ප්‍රහාරයට ලක් වු කාන්තාව මිට මාස එක හමාරකට පමණ පෙරදී අම්බලන්තොට දකුණු කඩවර ප්‍රදේශයේදී සිදු වු මනුෂ්‍ය ඝාතනයක ප්‍රධාන සැකකරුවෙකුගේ මවක් වන අතර, එම මිනී මැරුමට අදාල නඩුව අද (07) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ පැවතී තිබේ.
ඒ අනුව මෙම වෙඩි ප්‍රහාරයට ලක් වු කාන්තාවද සිය පුතාගේ නඩු කටයුත්ත සදහා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් බස්
රථයෙන් යළි නිවස බලා යමින් සිටින අවස්ථාවේ මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය පිළීබදව තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්නගේ උපදෙස් පරිදි අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







