ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ සීනි ආනයන සඳහා ලබා දුන් බදු සහනය හේතුවෙන් අහිමි වූ රුපියල් කෝටි 1600ක් පමණ වන බවත් එම මුදලින් අවම වශයෙන් සියයට 30ක් වත් ආදායම් බදු ලෙස අය කර ගැනීමට තමන් යෝජනා කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රජය විසින් මෙලෙස කැප කළ බදු මුදල ඇතැම් ආයතනවලට ලොතරැයියක් ඇදුණා වගේ අවස්ථාවක් බවත් මෙලෙස රජයට අහිමි වූ රුපියල් කෝටි 1600න් සියයට 45ක්ම එක් ප්‍රධාන සමාගමක් වෙත ඇදී ගොස් ඇති බවට රජයේ විගණකාධිපති වාර්තාව පදනම් කර ගනිමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අද ආදායම් බදු පිළිබඳව පැවැති පාර්ලිමේන්තු විවාදයේදී මේ පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් සකසන ලද වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ බව අනාවරණය කළ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා 2021 වසරේ ජනවාරි දක්වා සීනි ආනයන මත අය කළ රුපියල් 50ක බද්ද ශත 25ක් දක්වා අඩු වීම හේතුවෙන් සීනි ආයනන බදු වාසිය ලබා ගත් සමාගම් 10ක් පවතින බව රාජළු ඇමතිවරයා සඳහන් කළ අතර එයින් සියයට 45ක් එක්තරා සමාගමක් විසින් ලබාගෙන ඇති බව ප්‍රකාශ කළේය.
එහිදි තවදුරටත් ඔහු පෙනවා දුන්නේ මෙම සමාගම අදාළ සහනය ලබා දීමත් සමග එම සමාගමේ සීනි ආනයන ප්‍රමාණය වෙනත් වසරවල ගෙන්වූ සීනි ප්‍රමාණයට වඩා 1200 ගුණයකින් වැඩි වී ඇති බවයි. එසේම මෙම ආයතනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දක්වා ඇති ගිණුම් වාර්තාවල රුපියල් මිලියන 1068ක් අඩුවෙන් ඉදිරිපත් කළ බව විමර්ශනවලදී හෙළි වී ඇති බවඳ සඳහන් කළේය.
විශේෂයෙන් සුදු සීනි මත මෙම බදු සහනය ලබාගෙන ආයතන වාසි ලබාගෙන ඇති අතර මෙම අඩු කළ ලාබය කිසිසේත් පාරිභෝගිකයාට නොලැබුණු බැවින් මේ සම්බන්යෙධන් යම් පියවරක් ගත යුත බව අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වුවද පාරිභෝගිකයාට නොගොස් මෙම සීනි ආනයනකරුවන්ට ගිය වාසිය යළි අය කර ගත යුතු බවට විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇතත් පවතින නීතිමය තත්ත්ව යටතේ ඒවා අය කර ගැනීමේ ක්‍රමවේදයක් දැනට නැති අතර කළ හැක්කේ දැනට සියයට 24ක් වන ආදායම් බද්ද මෙම සීනි ආනයනකරුවන්ගෙන් සියයට 30ක් ලෙස වැඩිකර අය කර ගැනීම බවත් ඒ සඳහා තමන්ට සහය ලබා දෙ ලෙසත් ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.
මෙම ප්‍රධාන සමාගමේ නම මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමෙන්තුවේදී ප්‍රකාශ නොකළද විගණන වාර්තාව අනුව එය පිරමිඩ් විල්මාර් පෞද්ගලික සමාගමයි.
එම සමාගම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම හිතවතකු වන ෂැංග්‍රිලා හෝටල් සභාපති සජාන් මවුජුඩ් ට අයත් එකක් බව ප්‍රකට කරුණකි.







