කෑගල්ල, බුළුරුප්ප, කෙම්පිටිය වලව්වේ වයෝවෘද්ධ හාම්පුතු අතපය ගැටගසා පහර දී මුවට ප්ලාස්ටර් ඔබා ගෙල සිර කර මරා දැමීම සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිය සමග අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේදී කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත්තේ ය.
විමර්ශන නිලධාරීන් පවසන්නේ, අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව සිය සැමියාගෙන් වෙන් වී ජීවත්වන බවත්, ඇය මෙන් ම කල්ලි සාමාජිකයන් දෙදෙනා ද අධික මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බවත්ය. කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරාට ලැබුණු ඔත්තුවක් මත මෙම කණ්ඩායම අත්අඩංගුවට ගෙන ඇත.
කෙම්පිටිය වලව්වේ ඝාතනය සඳහා කල්ලි සාමාජිකයන් තිදෙනෙකු සහභාගී වී ඇති අතර ඉන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට පත්වී ඇත. ඔවුන් මිනිස් ඝාතන සහ කොල්ලකෑම් ඇතුළු සෙසු අපරාධ රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව මේ වන විට වරෙන්තු ලබා සිටින පුද්ගලයන්ය. ඉකුත් 27 වන දා මෙම ඝාතනය සිදුව තිබිණි. වලව්වට ඇතුළු වූ ඝාතකයන් එහි හාම්පුතා මරා බිරියට ද පහර දී වලව්වේ තිබූ හාම්පුතාට අයත් මෝටර් රථය ද රැගෙන පළා ගොස් තිබිණි. විමර්ශන පවත්වන නිලධාරීන් ඊට පැය කිහිපයකට පසු පැහැර ගෙන ගිය මෝටර් රථය පින්වත්ත පොලිස් වසමේ දමා ගොස් තිබියදී සොයා ගත්තේය. පසුව මේ සම්බන්ධයෙන් කෑගල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය සහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශන පවත්වන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරද්දී ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරාට සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරක් ලැබුණු අතර එහි සඳහන් වූයේ, එම කල්ලියේ සාමාජිකයන් පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බව ය.
පසුව නිලධාරීන් කණ්ඩායමක් එම නිවසට ගොස් කාන්තාවක් සහ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ශනයේදී අනාවරණය වන්නේ, මෙම කල්ලිය සැකකාර කාන්තාව විසින් මෙහෙයවා ඇති බව ය. ප්‍රධාන සැකකරුට බන්ධනාගාර රැඳවියෙකු විසින් ලබා දෙන තොරතුරු මත මෙම කාන්තාව විසින් තරුණයන් තිදෙනෙකු බෝකුන්දරට කැඳවා ඇගේ සොහොයුරකුගේ නමට ගත් මෝටර් රියකින් එහි රියැදුරා ද සමග කෑගල්ලට ගොස් ඇත.
පසුව එකී කාන්තාව කෙම්පිටිය වලව්ව කල්ලි සාමාජිකයන්ට පෙන්වා යළි රංවල ප්‍රදේශයට පැමිණ කල්ලි සාමාජිකයන් තිදෙනා වෙනත් ත්රීවීලරයකින් කෙම්පිටිය වලව්ව වෙත යවා තිබේ. කල්ලි සාමාජිකයන් කෙම්පිටිය වලව්වට ඇතුළු වී එහි සිටි හාම්පුතා සහ ඔහුගේ බිරියට පහර දී හාම්පුතාගේ අත-පය බැඳ මුවේ ද ප්ලාස්ටර් අලවා ගෙල සිර කොට ඔහු ඝාතනය කොට මුළු වලව්ව ම පීරා මුදල් සොයා ඇත.
එහෙත් ඔවුන්ට සොයාගන්නට ලැබී ඇත්තේ, රුපියල් දස දහසක් පමණක් බව පොලිසිය කියයි. ලක්ෂ ගණනක මුදල් ඇති බව සිතා මොවුන් වලව්වට ඇතුළු වුවද රුපියල් දස දහසක් පමණක් හමුවීමෙන් පසු මරා දැමුණු හාම්පුතාගේ මුද්ද ද ගලවා ගෙන මොවුන් වලව්වෙන් පිටව ගොස් ඇත.
පසුව ඔවුන්ගේ දුරකතන ඇමැතුමකට අනුව අදාළ කාන්තාව සහ කල්ලි සාමාජිකයන් අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයට පැමිණ කොල්ලකා ගත් රන් මුදුව විකුණා රුපියල් එක් ලක්ෂ 65,000ක මුදලක් ලබා ගෙන එම මුදලින් හෙරොයින් පාවිච්චි කර තිබේ. එම මුද්ද විකුණා ඇත්තේ ද සැකකාර කාන්තාව විසින් බව පොලිසිය කියයි.
සිද්ධිය පසුව දා ප්‍රවෘත්තිවලට විකාශය වීමත් සමග බියට පත් කාන්තාව සහ කල්ලි සාමාජිකයන් සිව් දෙනා මිද්දෙණියට ගොස් සැඟව ඇතත් කිසිවෙකු හඳුනාගනීවි යැයි බියෙන් මොවුන් නැවතත් බෝකුන්දර ප්‍රදේශයේ නිවසට පැමිණ තිබේ. ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරාට මොවුන් සම්බන්ධයෙන් තොරතුරු ලැබෙන්නේ ඉන් පසුව ය.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු බිම්සර නමැත්තෙකි. ඔහු ත්‍රිකුණාමල පදිංචිකරුවෙකි. නිවාස සහ වෙළෙඳසල් කොල්ලකෑම් ගණනාවක් සිදුකළ අයෙකි.මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී නලින් නමැති අයෙකු හඳුනාගෙන ඇති අතර ඇප මත නිදහස්ව නිවසට පැමිණීමෙන් පසු ප්‍රධාන සැකකරු පිළියන්දල ප්‍රදේශයේ නිවසකට පදිංචියට පැමිණ තිබේ. එහිදී ඔහුට කෝටිපති ව්‍යාපාරිකයාගේ සැකකාර බිරිය හඳුනා ගැනීමට අවස්ථාව හිමිව තිබේ.
ඒ අතරදී කෑගල්ල කෙම්පිටිය වලව්ව පිළිබඳව ඔහුට තොරතුරු ලැබී ඇති අතර පසුව ඒ බව සැකකාර කාන්තාවට දැනුම් දීමෙන් පසු ඇගේ සහයෝගයෙන් මෙම කොල්ලකෑම සිදුකර ඇත. සැකකාරිය සහ සැකකරුවන් පිළියන්දල සිට කෑගල්ල බලා යෑමට උපයෝගී කරගත් මෝටර් රථය, අත්බෑග්, අත්මේස් කුට්ටම්, උල් පිහි දෙකක්ද පොලිස් කණ්ඩායම සොයා ගෙන ඇති අතර සැකකාරියගෙන් කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු බොරැලැස්ගමුව ප්‍රදේශයට විකුණන ලද මිය ගිය හාම්පුතාගේ රන් මුද්ද ද සොයා ගෙන ඇත.
සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ( මව්බිම)







