කුරුන්දි ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිටුපස කතෝලිකයෙකු සිටින බවට ප්‍රාදේශීය බුද්ධි අංශ හඳුනාගෙන ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රේමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළේය.
ඊයේ (24) පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් කරමින් ඔහු පෙන්වා දුන්නේ ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා කරන පරිදි රට තුළ ඇති විය හැකි වාර්ගික සහ ආගමික නොසන්සුන්තාව පිළිබඳව ජාත්‍යන්තර බුද්ධි අංශ රජයට කිසිදු අනතුරු ඇඟවීමක් කර නොමැති බවය.
දේශපාලන ප්රකෝපකාරී ලෙස රටේ ඇතැම් ස්ථානවල වාර්ගික සහ ආගම්වාදී නොසන්සුන්තාවක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බව ප්‍රාදේශීය බුද්ධි අංශ හඳුනාගෙන ඇති බවත්, ඒ පිළිබඳව රජය, ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ විශේෂ අවධානය යොමු කර ඇති බවත් අමාත්‍යවරයා කීවේය.
මුලතිව් ප්‍රදේශයේ පදිංචි කතෝලිකයෙකු කුරුන්දි සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් යුතුව එහි ප්‍රශ්න ඇති කිරීමට උත්සාහ කර ඇති බවට බුද්ධි අංශ හඳුනාගෙන ඇති බව ඔහු පැවසීය.
පෙරේදා පාර්ලිමේන්තුව අමතමින් කුරුන්දි ප්‍රශ්නයට අදාලව ජාතික ආරක්ෂාවට බලපාන බරපතළ කාරණයක් මතු වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා විදෙස් මාධ්‍ය අනතුරු ඇඟවීම් පිළිබඳව පලවන මාධ්‍ය වාර්තාවල සත්‍යතාව පිළිබඳව අදාළ සියලු දේශපාලන පක්ෂ සහ අනෙකුත් සියලු පාර්ශ්ව දැනුවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.
ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා මෙම ප්‍රකාශය කළේ විපක්ෂ නායකවරයා මතු කළ ප්‍රශ්නයට පිළිතුරු සපයමිනි.