මැදපෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින ගැටුම් මධ්‍යයේ, ඉරානයට එරෙහිව යුද ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය ඉන්දියානු වරායන් හෝ නාවික කඳවුරු භාවිතා කරන බවට එල්ල වන චෝදනා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.
IRIS Dena නෞකාව ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික ආරාධනාවක් මත ඉන්දියාවට පැමිණ රටවල් 72ක සහභාගීත්වයෙන් විශාඛාපට්ටනම්හි පැවති MILAN 2026 නාවික අභ්‍යාසයට එක් වී නැවත සිය රට වෙත ගමන් කළ නොහැකිව ගාළු වරායට නුදුරු ජාත්‍යාන්තර මුහුදේ දී අනතුරට ලක්වීමේ සිද්ධියත් සමගම හිටපු ඇමරිකානු හමුදා නිලධාරියෙකු උක්ත ප්‍රකාශය කර තිබුණේය.
ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව අවධාරණය කර සිටින්නේ, මෙවැනි සංවේදී ගෝලීය සිදුවීම් හමුවේ අසත්‍ය තොරතුරු පතුරුවා හැරීමෙන් වළකින ලෙසය.
-
මේ මතභේදාත්මක තත්ත්වය හටගන්නේ කෙසේ ද?
මෙම මතභේදාත්මක තත්ත්වය හටගත්තේ ඇමරිකාවේ ‘වන් ඇමරිකා නිව්ස් නෙට්වර්ක්’ (OAN) නාලිකාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීය. එහිදී විශ්‍රාමික ඇමරිකානු යුද හමුදා කර්නල් ඩග්ලස් මැක්ග්‍රෙගර් ප්‍රකාශ කර සිටියේ, පවතින යුද තත්ත්වය හමුවේ ඇමරිකානු නාවික හමුදාවේ යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුව ඇති බැවින්, මෙහෙයුම් සහය ලබා ගැනීම සඳහා ඉන්දීය වරායන් මත යැපීමට ඔවුන්ට සිදුව ඇති බවයි.
කර්නල් මැක්ග්‍රෙගර් එහිදී වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබුණි:
“අපගේ සියලුම කඳවුරු විනාශ වී තිබෙනවා… අපට ඇත්ත වශයෙන්ම ඉන්දියාව සහ ඉන්දීය වරායන් වෙත පසුබැසීමට සිදුවී ඇති අතර, එය එතරම් සුදුසු තත්ත්වයක් නෙවෙයි.”
මෙම වාර්තා “පදනම් විරහිත සහ ගොතන ලද” ඒවා බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වහාම ප්‍රකාශ කළේය. “ඇමරිකානු OAN නාලිකාව හරහා ඉන්දීය වරායන් ඇමරිකානු නාවික හමුදාව භාවිතා කරන බවට කෙරෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ව්‍යාජ ඒවා” බව අමාත්‍යාංශය සිය නිල FactCheck සමාජ මාධ්‍ය ගිණුම හරහා තහවුරු කළේය.
මෙම ගැටුමට ඉන්දියාවේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා විදේශීය හමුදාවන්ට කිසිදු සැපයුම් සහයක් ලබා නොදෙන බවත් නව දිල්ලිය අවධාරණය කරමින් සිටියේ ස්වකීය නොබැඳි විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව සහතික කරමිනි. .
-
ඇත්තටම ඉන්දියාව නොබැඳි ජාතියක් ද?
ශ්‍රී ලංකාවට ආසන්න ඉන්දියන් සාගර කලාපයේදී, ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවට ඇමරිකානු සබ්මැරීනයක් මගින් ප්‍රහාරයක් එල්ල කළ බවට වාර්තා වන පසුබිමක කර්නල් ඩග්ලස් කරන මෙම ප්‍රකාශය යළිත් අවධාරණය කිරීමට හේතුවක් තිබේ. එනම් දෙවන ලෝක යුද්ධයෙන් පසු සබ්මැරීනයක් මගින් මතුපිට නෞකාවකට එල්ල කළ පළමු ප්‍රහාරය ලෙස වාර්තාවන මෙම සිදුවීම සහ ඇමරිකාව ඉදිරියේ ඉන්දියාවේ කොඳු සිඳගත් හැසිරීම සම්බන්ධව තුළනාත්මක විග්‍රහයක් ලෝක දේශපාලනය තුළ ඇති වී තිබෙන බැවිනි.
මෙහිදී ලෝක දේශපාලන විචාරකයෝ ඉන්දියාවේ වගකීම සහ රාජ්‍ය තාන්ත්‍රික පසුබිම ගැන විමසා සිටිති. IRIS Dena නෞකාව ඉන්දියාවේ නිල ආරාධනයක් මත නාවික අභ්‍යාසයකට පැමිණි එකක් නම්, එම නෞකාව ඉන්දීය සාගර සීමාවේ සිටින තාක් සහ ආපසු යන ගමනේදී යම් ආරක්ෂාවක් සැපයීමේ සදාචාරාත්මක වගකීමක් සත්කාරක රටට හිමිවේ. එහෙත් දැන් වාර්තාවන ආකාරයට ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික ආරාධිතයා වූ IRIS Dena නෞකාවට මේ අනතුරු දායක අවස්ථාවේ දී ඉන්දීය වරාය ප්‍රවේශය හෝ හිමි වී නැත. නිල ආරාධනයක් මත පැමිණි නෞකාවකට මෙවැනි අවදානම් අවස්ථාවකදී රැකවරණය හෝ අවම වශයෙන් ආරක්ෂිත නික්මයාමක් සහතික නොකර “රාජ්‍ය තාන්ත්‍රික විශ්වාසය” බිඳ දැමීමේ අශික්ෂිත හැසිරීමට ඉන්දියාවට ලෝකයෙන් චෝදනා එල්ල වෙමින් තිබේ.
දැනට වාර්තාවන ආකාරයට IRIS Dena නෞකාව ගාළු වරායට නාවික සැතපුම් 19ක් ඈතින් ජාත්‍යාන්තර මුහුදේ පැය 11 රැඳි සිට ඇත්තේ ඉන්දීය වරාය ප්‍රවේශය නොලැබීමෙන් අනතුරුව ඉරානය වෙත යන අනතුරු දායක ගමන නොගොස් ගාළු වරාය ප්‍රවේශය හෝ ලබා ගැනීම සඳහාය. ප්‍රහාරය එල්ල වන්නේ යා යුතු මග නොදැන ජාත්‍යාන්තර මුහුදේ සිටියදී ය. ඉන්දියාව වරාය ප්‍රවේශයක් සලසා දුන්නේ නම් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබූ බවට මතයක් පවතී. මේ තත්ත්වය ලෝක දේශපාලන නිරීක්ෂකයින් දැඩිව විමසා සිටී. තවදුරටත් “මධ්‍යස්ථ ප්‍රතිපත්තියක්” හෝ “නොබැඳි ජාතික ප්‍රතිපත්තියක් “ පිළිබඳ අදහස ප්‍රායෝගිකව ඉන්දියාවට අදාළ නැති බවත්, ඉන්දියාව යනු මුළුමනින්ම ඇමරිකාවට නතු වී ඇති ආයතනයක් බවත් ඔවුහු පෙන්වා දෙති.
ඉන්දියාව වඩාත් ගර්හාවට ලක් වන්නේ IRIS Dena නෞකාව සම්බන්ධව වූ රාජ්‍ය තාන්ත්‍රික වගකීමට වඩා මානුෂික සදාචාරය සම්බන්ධයෙනි. තමන්ගේ ආරාධනයෙන් පැමිණි අමුත්තෙකු (නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය) අනතුරක වැටී සිටින බව දැන දැනත්, දොරටු වසා දැමීම ආසියානු කලාපීය සංස්කෘතියට මෙන්ම ජාත්‍යන්තර සාගර නීතිවල සඳහන් “අපදාවට පත් නෞකාවලට සහය වීමේ” සදාචාරයට පටහැනි බව බහුතර ලෝකයේ අදහස වී ඇත. මෙය “ගෝලීය දකුණේ” නායකයා ලෙස ඉන්දියාව සතු මානුෂීය ප්‍රතිරූපය බිඳ දමන්නක් වන අතර, ඉන්දියාවේ මධ්‍යස්ථභාවය හුදෙක් වාචික ප්‍රකාශයකට පමණක් සීමා වී ඇති බවත්, ප්‍රායෝගික දේශපාලනයේදී ඔවුන් බටහිර උපායමාර්ගික අවශ්‍යතාවලට යටත් වී ඇති බවත් ලෝක දේශපාලන නිරීක්ෂකයින්ගේ මතයයි.
එමෙන්ම ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර මෑතකදී ගොඩනැඟුණු දැඩි රාජ්‍යතාන්ත්‍රික සහ පෞද්ගලික මිත්‍රත්වය, සාම්ප්‍රදායික ‘නොබැඳි’ පිළිවෙතින් බැහැරව බටහිර බලවතුන්ගේ යුදමය අක්ෂය (US-Israel Axis) වෙත ඉන්දියාව තල්ලු කර ඇති බවට අදහසක් පැවතිනි. IRIS Dena සිද්ධිය මතුවන්නේ ඒ අතරය.
කෙසේ වෙතත් ඉන්දියාවේ මේ නිරුවත්වීමේ ස්වරූපය වසා ගැනීමට තවත් බොහෝ කාලයක් යනු ඇත. කඩවුන විශ්වාසය සහ ලබැඳියාව යළි පුරුදු ලෙස ගොඩනගා ගැනීමට පෙර චර්යාත්මකව ඉන්දියාව දැක්වූ අසංස්කෘතික ස්වරූපය ඉදිරියේ දී ලෝකය තුළ ඔවුන්ට හිමි වන තැන අනුව තීරණය වනු ඇත.







