ඉරාන නෞකාවට ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධව අද පාර්ලිමේන්තුවේ දී සංවාදයක් ඇතිවිය. මේ සංවාදය ඇති වන්නේ ආණ්ඩුව ජාත්‍යාන්තර නීතිය පැහැර හරිමින් සිය අනන්‍ය මුහුදු සීමාවේ දී යුද අපරාධ කිරීමට ඉඩ හැරීම සම්බන්ධවය.
මේ අපරාධය සම්බන්ධව රජය ප්‍රකාශයක් සිදුකළ යුතු බවත් එම නිල ප්‍රකාශයේ මේ ප්‍රහාරය එල්ල කළේ කවුද, එය ටෝපිඩෝ ප්‍රහාරයක ද නැද්ද එම ප්‍රහාරය හෙළ දකිනවාද නැද්ද පැහැදිලි ස්වරූපයක් තිබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය. ඔහු කීවේ ජාත්‍යාන්තර මාධ්‍ය ටෝපිඩෝ ප්‍රහාරයක් ගැන කියන විට රජය එම මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කළ බවය. එවැනි තත්ත්වයක් ඇති වීම බරපතල තත්ත්වයක් බව ඔහු කීවේය. මේ වනවිට ඉරාන නෞකාවක් කොළඹ වරාය අසලට පැමිණ ඇති බැව් කී විපක්ෂ නායකවරයා ඇති වී තිබෙන්නේ නැවත වරක් ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් බැව් ද පැවසුවේය.
විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ රජය ඉන්දියානු සාගර කලාපයේ සාමය වෙනුවෙන් සිය වගකීම පැහැර හැර ඇති බවය. මේ සම්බන්ධව බරපතලම චෝදනාව එල්ලවන්නේ විපක්ෂ මන්ත්‍රී මජුබර් රහුමාන්ගෙනි. ඔහු කීවේ ඉන්දියාව මිත්‍ර රටවල් 74ක් සමග පැවැත්වූ මෙම නාවික අභ්‍යාසයට නන්දිමිත්‍ර නෞකාවත් සහභාගී වුන බවය. නැව් 42ක් සහ අහස් යානා 29ක් ඊට එක් වූ බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කීවේය.
මේ පවතින තත්ත්වය අනුව ඉරානයට යා නොහැකි ගාලු වරාය ආශ්‍රිත ජාත්‍යාන්තර මුහුදේ පැය 11ක් තිස්සේ රැඳී සිටි බවත්, ඒ පැය 11 බලාගෙන සිටියේ ගාලු වරායට ප්‍රවේශ වීමට අවසර ඉල්ලා එම අවසරය ලැබෙන තුරු බවත්ය. ඉන්දියානු සාගර සාම කලාපයක් වෙනුවෙන් ජාත්‍යාන්තර ප්‍රඥප්තිවලට අත්සන් කර ඇති ශ්‍රී ලංකාව මෙම නෞකාවට ගාලු වරාය ප්‍රවේශය සඳහා ඉඩ නුදුන්නේ කුමණ පදනමකින් දැයි ඔහු පාර්ලිමේන්තුවේ දී විමසුවේය.
“ මේ තොරතුරු ඇමරිකානු හමුදාවට ගියා. ඒ වෙනකොට සම්මැරීන් එකක් අවට තිබුණෙ නෑ . ගල්ෆ් කලාපයේ ඉඳන් තමයි ආවේ. ජාත්‍යාන්තර ප්‍රඥප්තිවලට අත්සන් කරලා තිබෙද්දි ඇයි මේ නැවට වරායට එන්න ඉඩ දුන්නේ නැත්තේ. “ මුජිබර් රහුමාන් ඇසුවේය.
මේ අවස්ථාවේදී කතා කළ චාමර සම්පත් කීවේ ඉන්දියාව මේ කළේ බලු වැඩක් බවය. අපට පරිප්පුවක් දීම සඳහාම කළ මේ බලුවැඩේ කරමින් ඉන්දියාව ඉරානයේ මිනිසුන් ගෙන්වා ඝාතනය කළ බව චාමර සම්පත් පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. තමන් ආරාධනා කර ගෙන්වූ ආරාධිතයෙක් ආරක්ෂා කිරීමේ වගකීම අත්හැර එම ආරාධිතයා පිටත් කර යැව්වේ ඔහුට සිය රටට යෑමට නොහැකි බව හොඳින්ම දැනගෙන බව කී මන්ත්‍රීවරයා කළ හැකි දෙයක් නොමැතිවීම නිසා නෞකාව ගාල්ලට නුදුරු ජාත්‍යාන්තර මුහුදට පැමිණි බව අවධාරණය කළේය. ඔහු යෝජනා කළේ ඉන්දියාව වැනි ජාතියක් මෙවැනි බලු වැඩක් නොකළ යුතු බවය.
සියල්ලට පිලිතුරු දුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ අවස්ථාවේ ආණ්ඩුව සමග ඇති කෝන්තර පිරිමසා ගැනීමට හෝ තවත් ජන කොටසක් කුපිත කිරීමට කටයුතු නොකර ලෝක පරාමාණයේ අභියෝගයක දී වගකීම් සහිත ප්‍රකාශ කරන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.
රජයක් ලෙස ගැටලු ඉතාම අවම වෙන මට්ටමින් ජාත්‍යාන්තර ප්‍රඥප්තිවලට අනුකූලව කලාපයේ සාමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වග වෙමින් කටයුතු කරන බවත්, සියලුම තොරතුරු අවශ්‍ය මොහොතේ පාර්ලිමේන්තුවට දන්වන බවත් ඔහු පැවසුවේය.







