පසුගිය පෙබරවාරියේ හබරණ දී දුම්රියේ ගැටී අලි ඇතුන් හත්දෙනකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් පවත්වා මීනගයා දුම්රිය පැදවූ 67 හැවිරිදි දුම්රිය රියැදුරුට එරෙහිව නිසි නීතිමය පියවර ගැනීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා කේ. ප්‍රියදර්ශනි ඇතුළු පරිසර ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (30දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
විශ්‍රාම වයස ඉක්ම වූ දුම්රිය රියැදුරන් ගල්ඔය දුම්රිය හන්දියේ සිට මඩකළපුව දුම්රිය ස්ථානය තෙක් ධාවනය වන දුම්රියවලට සහ ගල්ඔය දුම්රිය හන්දියේ සිට ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය අතර ධාවනය වන දුම්රියවල සේවයේ යෙදවීම වළක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වෙත නියෝගයක් කරන ලෙසද කේ. ප්‍රියදර්ශනි, එස්.ආර්. අධිකාරම්, එල්.ඒ.ආර්. චන්ද්‍රශාන්ත, අනුෂා ඩේවිඩ් හා එල්.වී.ජේ. චන්ද්‍රශාන්ත යන පෙත්සම්කරුවෝ සිය නීතිඥවරයා මගින් ගොනු කළ එම පෙත්සමෙන් ඉල්ලා සිටිති.
මෙවැනි අලි ඇතුන් මාරුවන පෙරකී ප්‍රදේශ හරහා දුම්රිය ධාවනය කරන දුම්රිය රියැදුරන්ගේ දැඩි නොසැලකිල්ල නිසා එවැනි මරණ සිදුවන නමුත් ඔවුනට එරෙහිව කිසිදු විනය පියවරක් ගෙන නොමැති බවත් ඔවුන් මේ දක්වා සේවයේ යෙදී සිටින බවත් එම පෙත්සමෙන් පෙන්වා දී තිබිණි.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා, වනජීවී අධ්යක්ෂ ජෙනරාල්වරයා, පරිසර අමාත්‍යවරයා හා ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු 12 දෙනෙක් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි.
ඉකුත් මාර්තු මස, මැයි මස හා අගෝස්තු මස ද මෙවැනි අලි මරණ සිදුවී ඇති බවත් ඒවා වළක්වා ගැනීමට බලධාරීන් නිසි පියවර ගෙන නොමැති බවත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් පෙන්වා දී තිබිණි. ( ඒ.ජේ.ඒ. අබේනායක – දිවයින )







