පවතින අර්බුදකාරී ආර්ථික පසුබිම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහය ලබා ගැනීම පිළිබඳව නිල සාකච්ඡා ලබන මාසය තුළ ආරම්භ වනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.
ඊයේ (14) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී රජය ප්‍රතිපත්තියක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම අනුමත කළ බවත් ඒ අනුව මෙම ඉදිරි සාකච්ඡා ආරම්භ වනු ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලාපීය ප්‍රධානියකු මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ඔහු ඊයේ මුදල් අමාත්‍යංශයට පැමිණ මුදල් අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කොට තිබේ. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීම් අනුව ශ්‍රි ලංකාව පවතින බැරෑරුම් තත්තවය ඔහු විසින් අමාත්‍යවරයා ඇතුළු රජයේ නිලධාරීන් වෙත පෙන්වා දි ඇති බව සඳහන් වේ.
එසේම නිල වශයෙන් මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් ඉල්ලන්නේ නම් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට සූදානම් බවද දන්වා ඇති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන්ගේ සාකච්ඡා පැයක පමණ කාලයක් පවත්වා ඇත. මෙම මූල්‍ය අරමුදල් ප්‍රධානියා අද ජනාධිපතිවරයාද හමුවීමට නියමිතව තිබේ.
මේ අතරේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපකාර ලබා ගැවීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණය අමාත්‍ය මණ්ඩලයෙන් ලබා ගෙන ඇති අතර ඒ අනුව ඉදිරි කටයුතු කඩිනමින් සිදු කිරිමට අවශ්‍ය පියවර ගැනෙනු ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.







