චීන ජාතිකයින් පිරිසකට අයත් විදේශ ගමන් බලපත්‍ර නීති විරෝධී ආකාරයෙන් ළඟ තබා ගනිමින්, ඒවා මුදා හැරීම සඳහා කෝටි භාගයකට අධික කප්පම් මුදලක් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වේයන්ගොඩ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
චීන ජාතිකයන් 19කගේ පාස්පෝට් හිරකරලා
පසුගිය කාලසීමාවේදී රාජගිරිය මැද වැලිකඩ පාරේ නිවසක හිඳිමින් සයිබ අපරාධ කළ බවට සැක පිට චීන ජාතිකයින් සියයකට අධික පිරිසක් අත් අඩංගුවට ගනු ලැබුවේය. එම පිරිසෙන් චීන්නුන් 19 දෙනෙකු ගේ විදේශ ගමන් බලපත්‍ර සැකකාර වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ භාරයේ තබාගෙන තිබේ. පසුව එම විදේශ ගමන් බලපත්‍ර නැවත ලබාදීම සඳහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ තුන බැගින්, රුපියල් පනස් හත් ලක්ෂයක (ලක්ෂ 57) මුදලක් සැකකරු විසින් ඉල්ලා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම කප්පම් මුදල ලබා ගැනීම සඳහා සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අතරමැදියා ලෙස යොදා ගෙන ඇත්තේ කාන්තාවකි. එම කාන්තාව යොදා ගෙන අදාල කප්පම ලබා ගැනීමට ඔහු කටයුතු කර තිබේ.
ඉහළ පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරක්
මෙම මහා පරිමාණ දූෂණය සම්බන්ධයෙන් අපරාධ හා රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ යන නිලධාරීන්ට රහසිගත තොරතුරක් ලැබී ඇත.
ඒ අනුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජිත වර්ණප්‍රිය ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර ස්ථානාධිපතිවරයා වේයන්ගොඩ පිහිටි ඔහුගේ නිවසේ දී මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.







