ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා දින 110ක් පුරා සාම පාගමනේ නිරත වූ මහා සංඝරත්නයේ’සහභාගිත්වයෙන් මෙරට පැවැත්වෙන ‘Walk for Peace Program in Sri Lanka’ සාම පාගමන සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට රජය තීරණය කර ඇත.
මේ වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආචාර්ය පූජ්‍ය මේල්පිටියේ විමලකිත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ සහභාගිත්වයෙන් ඊයේ (02) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
සතියක පාගමනක් – ඇමරිකානු සාම පාගමනට නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ දොළොස් නමක් මේ මස 21වන දා මෙරටට වැඩම කිරීමට නියමිතය. අප්‍රේල් 22 සිට අප්‍රේල් 28 දක්වා දින හතක් පුරා මෙම සාම පාගමන පැවැත්වේ.
ගමන් මාර්ගය සහ ආරම්භය -අප්‍රේල් 21වන දා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසින් මෙම පාගමන ආරම්භ වේ. එහිදී අටමස්ථානාධිපති හිමියන්ගේ ආශිර්වාදයෙන් ලබා ගන්නා ශ්‍රී මහා බෝධි අංකුරයක් පාගමන පුරා වැඩම කරවීමට නියමිතය.
අප්‍රේල් 22 වන දා දඹුල්ලෙන් ආරම්භ වන පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර සහ කැලණිය හරහා අප්‍රේල් 28 වන දින කොළඹ නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතව ඇත.
සමාප්ති උළෙල – පාගමන අවසානයේ වැඩම කරන ලද ශ්‍රී මහා බෝධි අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක අතින්, ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත නිල වශයෙන් භාර දීමට නියමිතය.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලයේ දායකත්වය සහිතව පැවැත්වෙන මෙම වැඩසටහනේ ආරක්ෂක, සනීපාරක්ෂක සහ සංවිධාන කටයුතු පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරුන්, පොලිස්පතිවරයා සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.







