අසේල කුරුළුවංශ –
තෙල්දෙණිය මූලික රෝහලේ රථගාලේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී වෛද්‍යවරියකගේ සිරුරක් ඊයේ (17) පස්වරුවේ පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මෙසේ අභිරහස් ලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි වියේ පසුවූ වෛද්‍යවරියකි. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය, මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයෙකු සමඟ නිවාඩුවක් ගතකිරීම සඳහා නුවරඑළිය ප්‍රදේශයට ගොස් ආපසු පැමිණ ඇති බවය.
පොලීසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ රෝහල් රථගාලේ තිබූ මෝටර් රථය පරික්ෂා කිරීමේදී මෙම සිරුර සොයාගෙන ඇත.
සිද්ධිය සැලවීමත් සමඟ තෙල්දෙණිය මහෙස්ත්‍රාත් කමල් සංජය ජයතිලක එම ස්ථානයට පැමිණ ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලදී. ඊට අමතරව තෙල්දෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී උපුලි බණ්ඩාර එම ස්ථානයට පැමිණ මූලික වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදු කළාය.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, තෙල්දෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.









