දුම්රිය සේවයේ බිඳවැටීමට දුම්රිය සේවක අකාර්යක්ෂමතාව බලපෑවත් එය යළි ගොඩනැගිය හැක්කේ ඔවුන් හරහා මිස එම සේවාව පුද්ගලීකරණය කිරීමෙන් නොවන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහු මේ පිළිතුර ලබා දුන්නේ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි. මන්ත්‍රීවරයා දත්ත ඉදිරිපත් කරමින් 2017 වසරේ එන්ජින් 79ක් සහ ප්‍රයිම් ලොකොමෝටිව් 92ක් දුම්රිය සේවයේ ක්‍රියාත්මක වුවද, 2025 වන විට එන්ජින් 72ක් හා ප්‍රයිම් ලොකොමෝටිව් 78ක් දක්වා එම ප්‍රමාණය අඩු වී ඇති බව පැවසුවේය.
අවුරුදු 10කට පෙර ගමන් වාර 410ක් ධාවනය කළද මේ වනවිට දුම්රිය ගමන්වාර 310 සිට 250 දක්වා අඩු වී ඇති බවත්, ඒ නිසා ආදායම ස්වයංක්‍රීයව අඩුවන බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා, පුද්ගලික අංශය සම්බන්ධ කරගෙන මෙම ගමන යාමට රජය සූදානම් දැයි ප්‍රශ්න කළේය. එමෙන්ම රජයේ විදුලි දුම්රිය වැඩපිළිවෙළ විවේචනය කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ විදුලි දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම බලශක්තිය ද ගැටළුවක් බවයි. අටුව කඩා පුටුව හදන්නේ නැතිව පවතින සම්පත් වැඩිදියුණු කරන ලෙස ඔහු යෝජනා කළේය.
මෙහිදී අමාත්‍යවරයා මෙසේ පැවසීය:
“දුම්රියේ ඇති ප්‍රධාන ප්රශ්නය තමයි කාර්ය මණ්ඩලවල ප්රශ්නය. කාර්ය මණ්ඩලවල සැලකිය යුතු කාර්යක්ෂමතාවේ ප්‍රශ්නයක් තියෙනවා, ඒක ඇත්තක්. දුම්රිය දිනපතා භාවිතාවන ප්‍රමාණය 285ක් 300ක් දක්වා අඩු වෙලා. මීට කලින් වැඩි ප්‍රමාණයක් තිබී තියෙනවා. දුම්රිය එන්ජින් හරි ආකාරව නඩත්තු වෙන්නේ නැහැ. එන්ජින් 8ක් 10ක් අලුත්වැඩියා කරලා දෙන්න ඕන අවස්ථාවල ලැබෙන්නේ එන්ජින් 3ක් හෝ 4ක් පමණයි.
කෝච්චි කොටුව දුම්රිය ස්ථානය තුළ දුම්රිය පටළැවීම් සිදුවීම ගැන මම අතිශය කණගාටු වෙනවා.
ඒ කියන්නේ පැහැදිලිවම මම දන්නවා බරපතල අකාර්යක්ෂමතාවයක් තියෙනවා, ඵලදායීතාවයේ අඩුවක් තියෙනවා. මම හිතනවා දුම්රියේ ඉන්න සාධාරණ, රටට ආදරය කරන නිලධාරීන් සහ සේවකයන් මේක තේරුම් අරන් මෙම සේවාව ගොඩනගන්න ඉදිරිපත් වෙයි කියලා.
ඔවුන් හරහා මේක ගොඩනැගිය යුතුයි. දුම්රිය පුද්ගලීකරණය උත්තරය නෙමෙයි.”









